කොඳුඇට පෙළේ දුර්ලභ සැත්කමක් බදුල්ල රෝහලේදී සිදු කරයි

කොඳුඇට පෙළේ වේදනාවක් හේතුවෙන් දීර්ඝ කාලයක් පීඩා විඳි කාන්තාවකට සිදුකළ ඉතා දුර්ලභ ගණයේ සැත්කමක් පිළිබඳව බදුල්ල ශික්ෂණ රෝහලෙන් අද වාර්තා වී තිබෙනවා.

වයස අවුරුදු 72ක් වන මුතුමැණිකේ වසර ගණනාවක් කොඳුඇට පෙළේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් පීඩා විඳි කාන්තාවක් වන අතර ඇය විවිධ ප්‍රතිකාර ලබාගත්තද එයින් සුවයක් නොලැබී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම කාන්තාවගේ රෝගී තත්ත්වය නිශ්චිත​ව හඳුනාගත් බදුල්ල ශික්ෂණ රෝහලේ  ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ සැත්කමක් සිදුකළ යුතු බවට නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව එන්ඩොස්කොපි ක්‍රමය යටතේ සුෂුම්නාව තුළ මෙම සැත්කම සිදුකළ අතර, රෝගියා ​ශල්‍යකර්මයකට භාජනය කළ හැකි වයසක පසු නොවීම සහ සැත්කම සම්පූර්ණයෙන්ම රෝගියා නිර්වින්දනය කිරීමකින් තොරව සිදු කිරීම විශේෂත්වයක්.

​ශල්‍යකර්මයෙන් පසු රෝගියා මේ වනවිට පූර්ණ සුවය ලබමින් සිටින බවයි රෝහල් කාර්ය මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.