ලෝක බැංකු නියෝජිත පිරිසක් තිරප්පනේ ගොවි පුහුණු පාසලට

ලෝක බැංකුවේ දකුණු ආසියා තිරසර සංවර්ධන කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය ඩිනාඋමාලි ඩීනින්ගර් ප්‍රමුඛ ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යපෘතිය මඟින් ස්ථාපිත කරන ලද අනුරාධපුරයේ තිරප්පනෙහි පිහිටි දේශගුණ සුහුරු ගොවි පුහුණු පාසලට පසුගියදා පැමිණියහ. ශ්‍රී ලංකාවේ දේශගුණ සුහුරු කෘෂිකර්මය ප්‍රවර්ධනයට ගොවි පුහුණු පාසල ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම මේ සංචාරයේ අරමුණයි.

මේ දූත පිරිසට ජල සම්පත් කළමනාකරණ කළමනාකරු ජොසෙස් මුගාබි, ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී අසේල ඒකනායක, ජ්‍යෙෂ්ඨ කෘෂි ආර්ථික විශේෂඥ ජෝන් කෙයිසර්, උපදේශක සීනිතම්බි මනෝහරන් මහත්වරුන් සහ ප්‍රධාන සමාජ සංවර්ධන විශේෂඥ ඇනා ඕඩොනෙල්, මෙහෙයුම් උපදේශක ඉපෙක් අල්කාන් වූහ.

මෙහිදී සම්භාවනීය අමුත්තන් අතින් ගොවි නායකයන් වෙත සහභාගිත්ව සහතික ප්‍රදානය කෙරිණි. අධ්‍යක්ෂවරියගේ සංචාරය සලකුණු කිරීමට ගොවි පුහුණු පාසල් පරිශ්‍රයේ අඹ පැළයක්ද රෝපණය කරන ලදි. දේශගුණ සුහුරු වාරිකෘෂිකර්ම ව්‍යාපෘතියේ උතුරුමැද පළාතේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ එච්.එන්.පී. බණ්ඩාර මහතා මේ වැඩසටහන සංවිධානය කළ අතර, දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ විශේෂඥයෝ හා නිලධාරීහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.