මෙරට වෙළෙඳ නාවිකයන් පුහුණුවට ජර්මනියේ පීටර් ඩූලේ ආයතනයේ සහාය

මෙරට වෙළෙඳ නාවිකයන් පුහුණු කිරීමට ජර්මනියේ පීටර් ඩූලේ නාවික (Peter Doehle) ආයතනය කැමැත්ත පළ කර තිබේ.

ජර්මනියේ පීටර් ඩූලේ ආයතනයේ පුහුණු කළමනාකාර රේනර් ස්ටාර්ක් සහ වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඇමැති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ස්ටාර්ක් මේ බව සඳහන් කර තිබේ.

මේ වන විට පීටර් ඩූලේ නාවික ආයතනයෙන් පිලිපීනය ඇතුළු රටවල් ගණනාවක නාවිකයන්ට සිය තාක්ෂණික පුහුණුව දෙන බවත්, මෙරට සෙන්ට්රුල් මැරයින් (CentrelMarine) ආයතනය සමඟ ඒකාබද්ධව තරුණයන් 15 දෙනකුට වෙළෙඳ නාවික කැඩෙට් නිලධාරීන් ලෙස පුහුණුව දී ඇති බවත් ස්ටාර්ක් මහතා පැවැසීය. ඒ පිළිබඳව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සිය ස්තූතිය ස්ටාර්ක් මහතා වෙත පළ කළ අතර, ඉදිරියේදී මහපොළ සමුද්‍රීය විද්‍යායතනය සමඟ ඒකාබද්ධව වෙළෙඳ නාවිකයන් පුහුණු කිරීමට වැඩපිළිවෙළක් සකසන ලෙස ද ඉල්ලා සිටියේය.

ඇමැතිවරයාගේ එම ඉල්ලීම පිළිබඳව ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ ස්ටාර්ක් මහතා පීටර් ඩූලේ ආයතනයේ ඉහළ කළමණාකාරීත්වය සමඟ සාකච්ඡා කර කඩිනම් වැඩපිළිවෙළක් සකසන බව සඳහන් කළේය.

මේ සාකච්ඡාවට වරාය අධිකාරියේ වැඩ බලන සභාපති ගයාන් අල්ගේවත්තගේ, සෙන්ට්‍රල් මැරයින් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කාලිංග ද සිල්වා සහ උපදේශිකා පාඨලී කරුණාරත්නද සහභාගි වූහ.