වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඉල්ලීමක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වියළි කාලගුණ තත්ත්වය මාස දෙකකට අධික කාලයක් පවතින්නේ නම්, මුර ක්‍රමයට ජලය ලබා දීමට සිදුවන බවයි එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන, අනෝජා කළුආරච්චි සඳහන් කළේ.

කෙසේ වුවත් මේ වනවිට පවතින ජල මට්ටම ප්‍රමාණවත් බවත්, හැකි සෑම විටම ජලය අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් යොදාගන්නා ලෙසත් ඇය ඉල්ලිමක් කරනවා.

ඇතැම් පාරිභෝගිකයින්ට ලැබෙන ජල ප්‍රමාණය අඩුවීමක් හෝ නොලැබී යෑමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුවත් කරන ලෙසයි වැඩිදුරටත් ජනතාවට දැනුම්දෙන්නේ.