අපි ඇති කළ නව දේශපාලන සංස්කෘතියට අභියෝග කරන්න විපක්ෂයේ කාටවත් බෑ-බේරුවල ජන රැලියේදී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් කියයි

ලබන 06 වැනිදා ශ්‍රී ලංකාවට තෙවැනි ජය ගෙනෙන දවසයි

විපක්ෂයේ කොටස් වඳ වෙමින් යන සත්ත්ව කොට්ඨාසයක් වෙලා

වංචා, දූෂණ නැති ආණ්ඩුවක් ගමටත් හදමු

වෙනස් වෙන්න බැරි නම් රතු දත්ත පොතෙන් තමයි නතර වෙන්නේ

නව දේශපාලන සංස්කෘතියට අභියෝග කරන්න විපක්ෂයේ කාටවත් නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ලබන 06 වැනිදා ශ්‍රී ලංකාවට තෙවැනි ජයග්‍රහණය ගෙනෙන දිනය බවද සඳහන් කළ ප්‍රධාන ලේකම්වරයා, විපක්ෂයේ කොටස් වඳ වෙමින් යන සත්ත්ව කොට්ඨාස බවට පත් වී ඇති බව ද සඳහන් කළේය. තව අවුරුදු පහකට රටේ ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක මහතා බවත් ඒ අවුරුදු පහෙන් පසුත් රටේ නායකයා වත්මන් ජනාධිපතිවරයාම බවත් මේක කල්පෙකට හොල්ලන්න බැරි ආණ්ඩුවක් යැයිද පැවසීය. වෙනස් වෙන්න බැරි කණ්ඩායම් රතු දත්ත පොතෙන් තමයි නතර වෙන්නේ යනුවෙන් ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළ කළේ පසුගියදා (27) ජය නියතයි -ගම අපටයි ජාතික ජන බලවේගයේ බේරුවල රැලියට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මෙසේද පැවසීය.

ලබන 06 වැනිදා අපේ රටට තුන්වැනි ජයග්‍රහණය ගේන දවසයි. පසුගිය ජනාධිපතිවරණයේදී පැරණි, ප්‍රභූ දේශපාලනය පැත්තක තියලා අපේම ජනාධිපති කෙනෙක් පත්කර ගත්තා. මහමැතිවරණයෙන් ඊටත් වඩා ශක්තියකින් පාර්ලිමේන්තුවට 159ක මන්ත්‍රී සංඛ්‍යාවක් සහිත ආණ්ඩුවක් හැදුවා. ඒ දෙවැනි ජයග්‍රණයයි. මැයි 06 වැනිදා රට පුරා තිබෙන පළාත් පාලන ආයතන සියල්ලම මාලිමාව ජයග්‍රහණය කර පිට පිට ලබන තුන්වැනි ජයග්‍රයහණය වාර්තා කරන්න අපි සූදානම්.

මෙතැන රැස්වී සිටින ජනතාවගෙන් පෙන්නුම් කරන්නේ මාලිමාවේ ශක්තිය,ජනතාවගේ විශ්වාසය දිනපතාම වැඩි වෙමින් තිබෙනවා කියන එකයි. විපක්ෂය දැන් බිඳ වැටිලා. පොඩි පොඩි කල්ලි හැදිලා. එක්කෙනෙක් දෙන්නෙක් වොයිස් කට් දෙමින් ඉන්නවා. ඒගොල්ලන් වඳ වෙමින් යන සත්ත්ව කොට්ඨාසයක් බවට පත් වෙලා. ලබන මැතිවරණයෙන් පසුව එයාලා රතු දත්ත පොතට එකතු වේවි. දේශපාලනය කියන්නේ පරණ ක්‍රමයම බවයි ඒගොල්ලන් හිතාගෙන ඉන්නේ. බොරු කියන එක, අවලාද නඟන එක, අපහාස කරන එක දේශපාලනය කියලා එයාලා හිතාගෙන ඉන්නවා.

පසුගිය ජනාධිපතිවරණයත් එක්ක රටත් වෙනස් කළා.රටේ ජනතාව වෙනස් වෙලා තිබෙන්නේ. රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කර තිබෙනවා.ඒකට අභියෝග කරන්න විපක්ෂයේ කාටවත් බැහැ. එක වරෙක අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේදී කීවා, ඒගොල්ලන්ට “අපිව පරද්දන්න ඕනෑ නම්,අපට වඩා ශිෂ්ට සම්පන්න ව්‍යාපාරයක් හදන්න” කියලා. එයාලට ශිෂ්ට වෙන්න බෑ. එයාලා යන්නේම අශිෂ්ටත්වයට, ම්ලේච්ඡත්වයට. කිසිදු දවසක ආණ්ඩුවට ලැබෙන්නේ නැති නගර සභාවක් බේරුවල නගර සභාව කියන්නේ. ඉතිහාසයේ පළමුවැනි වතාවට, එය දිනන බවට අපේ මුස්ලිම් සහෝදරවරු සහතික වෙලා තිබෙනවා.බේරුවල නගර සභාව ඇතුළු සියලු සභා මාලිමාව දිනනවා කියන විශ්වාසය අපට තිබෙනවා. අපි ජනාධිපතිවරණය දිනුවා 50%කින්. මාස දෙකකට පස්සේ මහ මැතිවරණය දිනුවා 60%කට වඩා වැඩි ප්‍රමාණයකින්. පළාත් පාලන මැතිවරණය 70% පැනපු දැවැන්ත ජයග්‍රහණයකින් ඔප්පු කරන්න ඕනෑ රට ඉන්නේ මාලිමාවත් එක්ක කියලා.

මීට මාස හයකට ප්‍රථම ප්‍රතික්ෂේප කරපු අය නැවත ගේන්න ඕනෑ නැහැ. රටෙන් හොරු එළවලා තිබෙන්නේ. ගමෙත් හොරු එළවන්න ඕනෑ. හොරු ටික නැවත වෙස් වළාගෙන, පාට මාරු කරගෙන, පක්ෂ මාරු කරගෙන එනවා. මේ එන්නේ ඉස්සර සභාවෙන් හොරකම් කළ, කොමිස් ගහපු අයම තමයි. ඔබ, අපි වංචා, දූෂණ නැති අලුත් දේශපාලන සංස්කෘතියක් හදා තිබෙනවා. මහජන මුදල් නාස්ති කරන්නේ නැති, ජනතාවට ඉහළින් වැජඹෙන්නේ නැති, සරල ලෙස ජීවත් වෙන ආණ්ඩුකරණයක් අපි හදා තිබෙනවා. ජනතාවට සහන දෙන්න පටන්ගෙන තිබෙනවා.

හොරකම, පගා ගැහිලි නතර කර තිබෙනවා. හොරු අල්ලන්න පටන්ගෙන තිබෙනවා. රට කිසියම් දිශාවකට ගමන් කරමින් තිබෙනවා. අන්න ඒ පැත්තට අපි ගමත් අරගෙන යන්න ඕනෑ.ඒ වැඩේට අපි එකඟයි කියන සහතිකය දෙන්න ඕනෑ. මේක පුංචි ඡන්දයක් නොවෙයි. පළාත් පාලන ආයතනවල විෂය පථය සීමාවක් තිබෙනවා. ගමේ පාර හදන එක, බෝක්කුව හදන එක, මොන්ටිසෝරි හදාගන්න එක පොඩි පොඩි වැඩ ටිකක් තිබෙනවා.ඒ අතරතුර ඊට වඩා එහාට යන ගමනක් තිබෙනවා. අපි රටෙන් පටන් ගත්ත දේශපාලන සංස්කෘතිය ගම දක්වා ගේන්න ඕනෑ. ගමටත් හදමු වංචා, දූෂණ නැති ගමේ ආණ්ඩුවක්. මහජන මුදල් සාංඝික දේපළ වගේ රකින, නාස්ති කරන්නේ නැති පාලනයක්, ආණ්ඩුවක් ගමටත් හදමු.

ගමටත්, නගරෙටත් කොමිස් ගහන්නේ නැති, හොරකම් කරන්නේ නැති, වංචා-දූෂණ නැති පාලනයක් හදමු. අපි රටට හදලා තියෙනවා, වරප්‍රදසාද ලබන්නේ නැති, ස්වේච්ඡාවෙන් වැඩ කරන දේශපාලන සංස්කෘතියක්. ගමටත් හදන්න ඕනෑ, මහජන මුදල් නාස්ති කරන්නේ නැති, වරප්‍රසාද ගන්නේ නැති පාලනයක්. රටේ ආරම්භ කළ වෙනස ගමට ගෙනියන්න ඕනෑ. ඒ සඳහා මේ සභා සියල්ල මාලිමාව දිනවන්න ඕනෑ. මේ සභා පවත්වන්නේ යාළුකම්වලට, ගමේකමට, අපේකමට, සල්ලිවලට සලකන්න නොවෙයි. උදව්වක් කළා නම් උදවුවක් කරන්න. අපි මේ රටේ ආරම්භ කළ ගමනක් තිබෙනවා. උඩ සිට පහළට එක පිම්මට ඒ ගමන යන්න ඕනෑ. ඒ නිසයි මේ ඡන්දය අපි දිනන්න ඕනෑ.

විපක්ෂය හොඳටම කලබල වෙලා ඉන්නේ. ඒගොල්ලන් කියන දේ එයාලම දන්නේ නැහැ. එයාලා මාසෙන් මාසෙට ජනාධිපතිලා පත්කරනවා. තව අවුරුදු පහකට රටේ ජනාධිපති අනුර සහෝදරයා. අවුරුදු පහෙන් පස්සෙත් රටේ නායකයා අනුර සහෝදරයා. මේක කල්පෙකට හොල්ලන්න බැරි ආණ්ඩුවක්. විපක්ෂය දුකෙන් ඉන්නේ. ඒගොල්ලන්ගේ ස්වර්ගය අහිමි වෙලා. දෙව්ලොවෙන් බිමට වැටිලා. වංචා, දූෂණ නැති ආණ්ඩුවක් අපි හදා තිබෙනවා. වංචාවෙන් දූෂණයෙන් ජීවත් වූ අයට අපේ ආණ්ඩු හරියන්නේ නැහැ. හොරකම් කරන්නේ නැති, පගා ගහන්නේ නැති, වරප්‍රසාද ගන්නේ නැති, ජනතාව වෙනුවෙන් කැප වී වැඩ කරන ආණ්ඩුවක් අපි හදා තිබෙනවා. රාජ්‍ය බලය පාවිච්චි කළ, වරප්‍රසාද භුක්ති විඳි අයට ඒක නැතිව බැහැ. ඒ නිසා උඩින් ගන්න බැරි බලය බිමින් හරි ගන්න උත්සාහ කරනවා. රනිල් වික්‍රමසිංහ කීවා, එයාලා වෙන වෙනම ඡන්දෙ ඉල්ලුවාට ඡන්දෙන් පස්සේ එකතු වෙලා සභා පිහිටුවනවලු. මාලිමාව පරද්දන්න හදන්නේ ඇයි?අපි මේ රට පාවාදීලා නැහැ. මහජන මුදල් නාස්ති කර නැහැ. සම්පත් විකිණීම නවත්වා තිබෙනවා. ජනතාවට එරෙහිව බලය පාවිච්චි කර නැහැ. ජාතිවාදය පාවිච්චි කර මුස්ලිම් ජනතාවගේ කඩ සාප්පු ගිනි තියලා නැහැ.

ඉතිහාසයේ පළමු වතාවට ජාතික සමගිය තිබෙන ආණ්ඩුවක් හදා තිබෙනවා.ඒ කාලේ ජාතිවාදය පතුරලා ගැටුම් ඇති කළා. නැවත ජාතිවාදය ඇති නොවෙන සමගියෙන් ජීවත් වෙන්න රටක් හදා තිබෙනවා. මේ සමගියටත් පරාද වුණු අය බයයි.මහනුවර ශ්‍රී දළදා දැක්ම තිබුණා. එතැනදී මහනුවර පල්ලි, දේවස්ථාන සියල්ලම දළදා වැඳ පුදා ගන්න ආපු ජනතාවට නවතින්න, නිදාගන්න පහසුකම්,කන්න බොන්න දුන්නා. ඒක තමයි ජාතික සමගිය. අපට එහෙම ආණ්ඩුවක් ඕනෑ. එහෙම ආණ්ඩුව රකින බව පෙන්නන දවස තමයි මැයි 06දා.

විපක්ෂයට දැක්මක් වැඩපිළිවෙළක් නැහැ. දේශපාලනය දන්නේ නැහැ. අපි දේශපාලනය දැනගෙන පිළිවෙළට වැඩ කරගෙන යනවා. එයාලට අපිත් එක්ක හැරෙන්නවත් බැහැ. වෙනස් වෙන්න බැරි නම් රතු දත්ත පොතෙන් තමයි නතර වෙන්නේ. අපි ජනතාවට වුණු පොරොන්දු ඉටුකර තිබෙනවා. ඉටුකරගෙන යමින් තිබෙනවා. අපි මැතිවරණ කාලයේදී ජනතාවට කීවා,වංචා – දූෂණ නැති පාලනයක් හදනවා කියලා. අපට ආඩම්බරයෙන් කියන්න පුළුවන් වංචා දූෂණ නැති ආණ්ඩුවක් අපි හදලා තියෙනවා කියලා. ලෝකේ රටවල් අපිට ගරු කරනවා, වංචා-දූෂණ නැහැ, ඇමැතිවරු පගා ඉල්ලන්නේ නැහැ කියලා. ඔබේ ඡන්දෙට වටිනාකමක් තිබෙනවා. වෙනදා ඡන්දෙ දීලා, මන්ත්‍රීවරු, ඇමැතිවරු හොරකම් කරන කොට ඡන්දෙ දීපු කෙනාට ලැජ්ජාවක් හිතෙනවා.මාලිමාවට ඡන්දෙ දුන් අයට ආඩම්බරයක් එනවා මන්ත්‍රීවරු, ඇමැතිවරු මහජන මුදල්වලට අත තියන අය නොවෙන නිසා. ඔබේ ඡන්දෙට ඇත්ත වටිනාකම ලබාදුන් එකම පක්ෂය තමයි ජාතික ජන බලවේගයේ මාලිමාව. ඒක අපි රකින්න ඕනෑ.

ඔබට අපි පොරොන්දු වුණා අලුත් දේශපාලන සංස්කෘතියක් ගේනවා කියලා. අපි ඒක ඉටුකරමින් යන්නේ. අපට සරල ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඇමැති මණ්ඩලය 25ට අඩුවෙන් හදනවා කීවා. අපි හැදුවා අමාත්‍යාංශ 22යි. ඇමැතිවරු 21යි. මහින්ද ජනාධිපතිගේ කාලේ පොල් ඇමැති හිටියා. තල් ඇමැති හිටියා, කිතුල් ඇමැති හිටියා, සීනි ඇමැති හිටියා, මැටි ඇමැති හිටියා. අපි ඒ විකාර කර නැහැ. අපි කිවුවා මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් නැහැ. කාර් පර්මිට් අහෝසි කරනවා කියලා. ඒක අපි කළා. කිවුව දේ ඉටු කළ එකම දේශපාලන පක්ෂය ජාතික ජන බලවේගය විතරයි. හොරු ඇල්ලුවාද කියලා ප්‍රශ්නයක් තිබුණා. පොඩි ප්‍රමාදයක් තිබුණා. හේතුව ඒ ආයතන ඒකට සූදානම් වෙන්න ඕනෑ. හොරු අල්ලන්න අපට බැහැ. ඒකට අල්ලස් හෝ දූෂණ කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව ඒ අය තමයි ඒ වැඩේ කරන්නේ. දැන් වැඩේ කෙරෙමින් තිබෙනවා. නාමල් රාජපක්ෂට මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.යෝෂිත රාජපක්ෂට අධිචෝදනා පත්‍ර භාරදී තිබෙනවා. ඩේසි ආච්චිට නඩු පවරා තිබෙනවා. චාමර සම්පත් ඇතුළේ ඉන්නවා, ඔහුට විරුද්ධව චෝදනා තුනක් තිබෙනවා. පොදු දේපළ යටතේ මහජන මුදල් හොරකම් කර, වංචා කර, රිමාන්ඩ් එකේ. මර්වින් සිල්වා මහත්තයා රජයේ ඉඩම් හොර ඔප්පු හදලා විකුණලා. දැන් රිමාන්ඩ් එකේ. හිටපු ඇමැති ප්‍රසන්න රණවීර දැන් පොලීසියට බයේ හැංගිලා. උතුරු මැද පළාතේ හිටපු මහ ඇමැති, මහජන මුදල් වංචා කර තීන්දුව දුන්නා වසර 16කට නෑනත් සමඟ හිරේ. අපි අවධාරණයෙන් කියනවා අපේ රටේ අපරාධ කළ කිසිවකුට ගැලවීමක් නැහැ. ඒ හැමෝටම අනිවාර්යයෙන් නීතිය ඉදිරියට එන්න වෙනවාමයි. අපි ජනතාවට බොරු කියලා නැහැ. කරන්න බැරි කිසිවක් අපි කියන්නේ නැහැ. යමක් පොරොන්දු වුණොත් අපි නොකර ඉන්නෙත් නැහැ. එහෙම පුංචි ආණ්ඩුවත් අපි හදන්න ඕනෑ. මේ ප්‍රදේශීය සභාවේ හොරු එළවන්න ඕනෑ. කොන්ත්‍රාත්වලින් කොමිස් ගහන එක නතර කරන්න ඕනෑ. මහජන මුදල් ටික රැකලා, මේ බිම්වලට සේවා ලබාදෙන වැඩපිළිවෙළක් හදන්න ඕනෑ. ඒකට බාධා කරන්න ඔය ඇවිත් ඉන්නේ. ඔබට ලොකු කාර්යභාරයක් තිබෙනවා. අපි රටේ ජනාධිපති ලෙස මාලිමාවෙන් අනුර සහෝදරයා පත්කර ගත්තා වගේම, මාලිමාවේ ලොකු ආණ්ඩුවක් හදලා රටට භාර දුන්නා වගේම, ගමේ පුංචි ආණ්ඩු ටිකත් මාලිමාවට භාර දෙන්න ඕනෑ. අපි ජනතාවට විශාල සහන දී තිබෙනවා. ලංකාවේ මෙතෙක් තිබුණු ආණ්ඩුවලින් වැඩිම ජාත්‍යන්තර සහයෝගය තිබෙන්නේ මාලිමාවේ ආණ්ඩුවට. අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කර, මහමැතිවරණය ජයග්‍රහණය කර පටන් ගත්ත දේශපාලන ගමන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” නිර්මාණය කිරීමේ ගමන ඉස්සරහට යායුතුයි. ඊළඟට තබන යෝධ පියවර හැටියට මේ ඡන්දයෙන් සියලු පළාත් පාලන ආයතන මාලිමාව අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත්කර ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් මේ සතියේ ගෙවල්වලට යන්න. මාලිමාවට ඡන්දයක් නොදෙන්න තීරණය කළ අයටත් කතා කරන්න. මේක අපේ ආණ්ඩුව, ජනතාවගේ ආණ්ඩුව කිසිම හොරෙකුට වට්ටන්න දෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව අපි දිවි හිමියෙන් රකින්න ලෑස්තියි. ලබන 6දා හැමෝම එකතු කරගෙන ඡන්ද පොළට ගිහින් මාලිමාවට කතිරේ ගහමු. අපි හැමදෙනාම එකතු වෙලා වැඩ කරමු. ගමත් මාලිමාවට ගනිමු. ජය නියතයි.

ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා-

මේ රටේ විධායකයත් ව්‍යවස්ථාදායකයත් අත්පත්කරගෙනයි බේරුවල රැස්වීමට අපි සහභාගී වෙන්නේ. මේ වගේම ඔක්තෝබර් මාසේ 27 වැනිදා, මේ ස්ථානයේ මෙවැනිම රැස්වීමක් පැවැත්වූවා. ජනාධිපතිවරණයේදී පනස් අටලක්ෂයකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබුවා. පාර්ලිමේන්තු මැතිවරණයේදී හැටඅටලක්ෂය ඉක්මවා ඡන්ද ලැබුවා. කළුතර දිස්ත්‍රික්කයෙන් හාරලක්ෂ පනස්දෙදාහකට අධික ඡන්ද සංඛ්‍යාවක් ලැබුවා. ඒක 66%ක්. ප්‍රතිවාදී සමගි ජන බලවේගය ලැබුවේ 18%ක ප්‍රතිශතයක්. අපි මේ පළාත් පාලන ආයතන 17 අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා. අපි භාර ගත්ත බංකොලොත් රට මේ වන විට බංකොලොත්භාවයෙන් මුදාගෙන තිබෙනවා. ඒ වගේම දුක්විඳින ජනතාවගේ මූලික ප්‍රශ්න මේ වනවිට විශාල ප්‍රමාණයක් විසඳමින් ඉන්නවා.

ඔබේ ඡන්දය තීරණාත්මකයි. ඔබේ එදිනෙදා ජීවිතයට සම්බන්ධව පාරවල් පිළිසකර කිරීම, විදුලි පහන් සවිකිරීම, කුණු කසළ ඉවත් කිරීම, පෙර පාසල් ශක්තිමත් කිරීම, දරුවන්ගේ සෞඛ්‍ය කටයුතු දියුණු කිරීම මෙවැනි නොයෙක් ආකාරයේ කටයුතු පළාත් පාලන ආයතනවලින් කෙරෙනවා. ඒ නිසා 06 වැනිදා උදෙන්ම ඡන්ද පොළට ගොස් මාලිමාව ඉදිරියෙන් කතිරය ගසමින් ඔබේ යුතුකම ඉටුකරන හැටියට ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා-

අපි ඉන්නේ ඉතාම ජයග්‍රාහී මොහොතකයි. ජනාධිපතිවරණය දිනුවා. මහමැතිවරණය ඊටත් ඉහළින් දිනුවා. පළාත් පාලන ආයතනත් මාලිමාව ඉහළින්ම ජයග්‍රහණය කරනවා. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. තමන්ගේ පරාජය දැකලා විපක්ෂයේ අය දැන් විකාරයෙන් කියවනවා. රාජිත කියනවා රනිල් දෙසැම්බර්වල ජනාධිපති පුටුවේ වාඩි කරවනවාලු, කබීර් කියනවා දෙසැම්බර්වල සජිත් ජනාධිපති පුටුවේ වාඩි කරවනවා කියලා. වාඩි කරන්න පුළුවන් මොරටුවෙන් ගත්ත පුටු දෙකක.

මේ රටේ ජනතාව අනුර කුමාර දිසානායක සහෝදරයා ගැනත් මේ ආණ්ඩුව ගැනත් පෙරටත් වඩා දැඩි විශ්වාසයක් තබා තියෙනවා. ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී මාලිමාවට ඡන්දය නොදීපු අය අනිවාර්යෙන්ම මෙවර මාලිමාවට ඡන්දය දෙනවා. පසුගිය මහමැතිවරණයේදී අපට ඡන්දය නොදීපු මේ ගම්වල අපේ අම්ම තාත්ත, මෙවර ඡන්දය මාලිමාවට දෙනවාමයි.

විපක්ෂයේ අය එදා මොනවාද කීවේ. දැන් මොකද වෙලා තියෙන්නේ. අපි ආවොත් දානයක් දෙන්න බැහැ. බුද්ධාගම ඉවරයි.පෙරහරක් කර ගන්න බැහැ. කෝ දැන් ඒ අජිත් පෙරේරලා. ටොන් පච කිය කියා ඔය ගෙදර පොඩි රැස්වීමක් කරගෙන ඉන්නවා. ඒ දේශපාලනය මැයි 06දා අවසන් කරනවා. කතා දෙකක් නැහැ. මේ තරම් හොඳ ආණ්ඩුවක් මේ තරම් ජනතාවට සහන දෙන ආණ්ඩුවක්. ඉතිහාසයේ මහජන ආණ්ඩුවක් කීවාම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහජන ආණ්ඩුවක්. ජනතාවට දෙන්න පුළුවන් හැමදේම දෙන ආණ්ඩුවක්. කළුතර දිස්ත්‍රික්කයේ මේ පළාත් පාලන ආයතන 17ම අපි දිනනවා. වැඩ කරන කොට ජනාධිපතිගේ සිට පහළට දුවන යන්ත්‍රණයක් අවශ්‍යයි. පොහොසත් රටක් කර ගනිමු. ඒ වෙනුවෙන් ශක්තිමත්ව සියලු දෙනාම මාලිමාව වටා එක්වෙන්න. සියලු කොට්ඨාස ජයග්‍රහණය කරමු.