රනිල්ගේ සමයේදී ‘උරුමය’ ඔප්පු බෙදන උත්සවවලට ලක්ෂ 529ක් වැය කරලා-ජනපති කාර්යාල වාර්තාවක් කියයි

බලපත්‍ර ඉඩම් හිමි ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කළ උරුමය ජාතික වැඩසටහනේ ඔප්පු ප්‍රදානෝත්සව වෙනුවෙන් පමණක් පන් කෝටි විසිනව ලක්ෂ තිස්පන්දාස් අටසිය අනූතුනක (52,935,893.52) මුදලක් වැය කර ඇතැයි තොරතුරු අනාවරණය වේ.

මේ උත්සව වෙනුවෙන් වෙන් කර ඇති සමස්ත ප්‍රතිපාදන හය කෝටි පනස් හත් ලක්ෂ හැත්තෑ දෙදහස් හාරසිය අසූ තුනක් ( 65,772,483.46) වන අතර ඉන් දරන ලද වියදම රුපියල් 52,935,893.52කි.

මේ වියදම දරා ඇත්තේ දිස්ත්‍රික්ක 25ක ජනතාවට ඔප්පු ප්‍රදානය කිරීම සඳහා පැවැති උත්සවවලටය. ඊට අමතරව වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ මහවැලි අධිකාරියේ වලව කලාපයේ සහ තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේ පැවැති ඔප්පු ප්‍රදානය ද මීට අයත්ය. 2024 වසරේ පෙබරවාරි 5 දා උරුමය ජාතික වැඩසටහනේ පළමු උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේදී පැවැති අතර මේ වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබිණි.

මෙහි ප්‍රධාන උත්සවය දඹුල්ල රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැති අතර දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් තෝරා ගත් ඔප්පුලාභීන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලවලට මේ හය කෝටි පනස් හත් ලක්ෂ හැත්තෑ දෙදහස් හාරසිය අසූ තුනක මුදල වැය කර ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට උරුමය පළමු වැඩසටහන සඳහා රුපියල් රුපියල් හැට දෙදහස් අටසිය විස්සක මුදලක් වෙන් කර තිබූ අතර එම සම්පූර්ණ මුදල උත්සවය සඳහා වැය කර තිබේ. එමෙන්ම කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට රුපියල් 1,124925ක මුදලක්ද, මහනුවරට 1059430 ද, වැය කර ඇත.

මාතලේට රුපියල් 4518042ක් ද, නුවරඑළියට රුපියල් 263500ක් ද අම්පාරට පළමු වැඩසටහනට රුපියල් 6020855ක් හා දෙවනුව පැවැති උත්සවයට 1594436 ක් වැය කර තිබේ. එමෙන්ම අනුරාධපුරයට රුපියල් 3055385ක් ද, පොලොන්නරුවට 821815ක් ද වෙන් කර ඇත. එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා උත්සව තුනක් යටතේ ඉඩම් ඔප්පු පිරිනැමීමට 16665330, 702175, 77000ක් වෙන් කර තිබේ.

පුත්තලම සඳහා 1390197ක් වෙන් කර තිබිණි. කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා උත්සව දෙකට 898200ක් හා 1001984ක් වෙන් කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සව තුනකට 2169529, 252901, 42000ක මුදලක් වැය කර ඇත. හම්බන්තොට සඳහා 1299535ක්, බදුල්ල උත්සව අවස්ථා දෙකකට 446875ක් හා 581420ක මුදලක් වැය කර ඇත. මොනරාගලද අවස්ථා දෙකකදී ඔප්පු ප්‍රදානය සඳහා ලේකම් කාර්යාලයට 1668924 සහ 1658478ක් වැය කර තිබේ.

යාපනය ජනතාවට ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සව තුනක් සඳහා 190950, 105000, 1829220 මුදලක් පිළිවෙළින් වැය කර තිබේ. කිලිනොච්චිය සඳහා ද ප්‍රධාන උත්සවය ඇතුළුව තවත් උත්සව තුනක් සඳහා රුපියල් 978390, 167290 හා 1473960ක් වශයෙන් ප්‍රතිපාදන වැය කර ඇත.

එමෙන්ම මන්නාරම ජනතාව සඳහා දඹුල්ලේ පැවැති ප්‍රධාන උත්සවයට 323950ක ප්‍රතිපාදන වැය කර ඇති අතර තවත් උත්සව දෙකක් සඳහා පිළිවෙළින් රුපියල් 310820 සහ 860632ක් වැය කර ඇත. මුලතිව් දිස්ත්‍රික් ලේකම්ටද උත්සව අවස්ථා තුනක්ට පිළිවෙළින් රුපියල් 1429671, 85097, 1614546 මුදලක් වැය කර ඇති අතර වව්නියාව සඳහාද එවැනි උත්සව තුනකට 187200, 425355, 470930ක් බැගින් මුදල් වැය කර තිබේ.

මීට අමතරව ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්ට 508505ක්, ගම්පහ දිස්ත්‍රික් ලේකම්ට 56480ක්, මාතරට 1308360ක් වැය කර ඇත. මඩකලපුව සඳහා අවස්ථා දෙකකදී උත්සව පවත්වා ඇති අතර රුපියල් 753080, 1621496 ලෙස ප්‍රතිපාදන වැය කර තිබේ.

වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ මහවැලි අධිකාරියේ වලව කලාපයේ උරුමය සින්නකර ඔප්පු බෙදා දීමේ උත්සවයට 2089000ක් හා තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේ පැවැති ඔප්පු ප්‍රදානෝත්සවයට රුපියල් 5443000ක් වශයෙන් දිස්ත්‍රික්ක 25ක් සඳහා මෙසේ මුදල් ප්‍රතිපාදන වැය කර තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති කාර්යාලයෙන් කළ විමසුමක් මත මේ තොරතුරු ලැබී ඇති අතර මේ වැඩසටහන 2024 අයවැය යෝජනාවක් අනුව ක්‍රියාත්මක කෙරිණි. ඒ සඳහා අයවැයෙන් රුපියල් බිලියන 2ක් ද වෙන් කෙරිණි. ප්‍රධාන අදියර තුනක් යටතේ ඔප්පු ලබාදීමට සැලසුම් කර තිබූ අතර ඒ වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ උරුමය මෙහෙයුම් කාර්යාලයක් ද ස්ථාපිත කෙරිණි.