රනිල්ගෙන් අල්ලස් කොමිසමට පැය 3ක ප්‍රකාශයක්-පිටු 10ක කටඋත්තරයක්

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව සිදු කළ දැනුම්දීමකට අනුව ඊයේ (28) උදෑසන එහි පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. ඊයේ (28) පෙරවරු 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි හිටපු ජනාධිපතිවරයා මධ්‍යහ්න 12.25ට පමණ ඉන් පිටව ගියේය.

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ ප්‍රධාන ඇමැතිවරයාව සිටියදී සිදු වූ බව කියන දූෂණ චෝදනාවකට අදාළව හිටපු ජනාධිපතිවරයා විසින් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීමට මෙසේ කැඳවීමක් කර තිබේ.

ඒ අනුව අල්ලස් කොමිසම හිටපු ජනාධිපතිවරයාව මුල්වරට කැඳවන ලද්දේ පසුගිය 17 වැනිදාය. එදින නොපැමිණි හිටපු ජනාධිපතිවරයා වෙනත් දිනයක් ලබාදෙන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටි අතර පසුව පසුගිය 25 වැනිදා නැවත කොමිසම මඟින් ඒ මහතාට ප්‍රකාශයක් දීමට පැමි‍ණෙන ලෙස දෙවැනි වරටද දැනුම් දී තිබිණි. සිය නීතිඥවරයා විදේශගත වන බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා නැවත ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව අල්ලස් කොමිසම අවසාන දැනුම් දීම කරමින් ඊයේ (28) දිනය ලබා දී තිබිණි. මෙවර නොපැමිණියහොත් නීතිය ක්‍රියාත්මක කරන බවට අල්ලස් කොමිසම මඟින් හිටපු ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ. අවස්ථා දෙකකදී කොමිසමට නොපැමිණි හිටපු ජනාධිපතිවරයා ඊයේ (28) ඒ හමුවට පැමිණ පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී ඇත.