ජනතාවට දිය යුතු ජාතික ආරක්ෂාව සහ රැකවරණය මේ වන විට රජයට සැලසිය නොහැකි බවත්, ඒ සඳහා දැන් ඉදිරිපත් වී ඇත්තේ සමගි ජන බලවේගය නිසා එම අභියෝගය ජනතාව වෙනුවෙන් සතුටින් භාර ගන්නා බවත් විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
විපක්ෂ නායකවරයා එසේ පැවැසුවේ ඉකුත්දා (25) මාකොළ, සනාරා උත්සව ශාලාවේ පැවැති සමගි ජන බලවේගයේ බියගම ආසන විශේෂ බල මණ්ඩල රැස්වීමේදීය.
මේ රැස්වීම බියගම සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතා විසින් සංවිධාන කරන ලදී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ද කියා සිටියේය.
“අද රටට අවශ්‍ය ජාතික ආරක්ෂාව සලසන්නට වත්මන් ජාතික ජන බලවේග රජය අසමත් වී සිටිනවා. අද ගෙදරට ඇවිත් වෙඩි තබා මරා දානවා. කඩයට ඇවිත් වෙඩි තබා මරා දානවා. වාහනයේ යන විට වෙඩි තබා මරා දානවා. පාරේ යන විට වෙඩි තබා මරා දානවා. ක්‍රීඩා පිටියට ඇවිත් වෙඩි තබා මරා දානවා. මේ ආකාරයෙන් බලනකොට රටේ හැම තැනකම පාහේ වෙඩි තැබීම් සිදු වෙනවා. ඒ හේතුවෙන් ජනතාවට දැන් ජීවත්වීමට සිදු වී තිබෙන්නේ බියෙන් සහ සැකයෙන්. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන බව කියමින් බලයට පත් වූ රජය ජාතික ආරක්ෂාව සලසන්නේ මෙහෙමද කියලා අපි අහනවා. මේ වන විට රජයට සලස්සන්නට නොහැකි වී තිබෙන ජාතික ආරක්ෂාව සහ රැකවරණය ජනතාවට දෙන්න සමඟි ජන බලවේගය ඉදිරිපත්වී සිටිනවා. රටේ පොදු ජනතාව වෙනුවෙන් එම අභියෝගය අපි සතුටින් භාර ගන්නවා.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජන බලවේගයට බලය හිමි වන පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අපි නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අපි එම පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල තිබෙන ආගමික සිද්ධස්ථාන සහ පොලීසි සම්බන්ධ කරගෙන සිවිල් ආරක්ෂක කමිටු සහ ප්‍රජා ආරක්ෂක කමිටු පිහිටුවා එයින් මේ රට සුරක්ෂිත කරන්න පියවර ගන්නවා. මේ රජය බලය ගත්තේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කරනවා කියලා. නමුත් දැන් බඩු මිල අහස උසට නැගලා. සහල්, සීනී, පිටි සහ කිරි පිටිවල මිල ඉහළ ගිහින්. පොල් ගෙඩියක් සොයා ගන්න නෑ. ලංකාවේ නිෂ්පාදනය කරන ලුණු ටිකත් නෑ. මේ රජයේ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසා රජයට බඩු මිල පාලනය කර ගන්න නොහැකිවී තිබෙනවා. එයින් ජනතාව දැඩි පීඩනයකට ලක් වෙලා. ජීවන බර ඔවුන්ට දරා ගන්න බෑ. ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට රජය දෙන උත්තරය මොකක්ද? ඒ ගැන අපි බලා සිටිනවා.
ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පසුව දැන් ගමේ ඡන්දය වෙනුවෙන් මැතිවරණයක් පවත්වනවා. මැතිවරණ දෙකේදීම ජනතාවට බොරු කියලා මුළා කර ජාතික ජන බලවේගය රටේ පාලන බලය ගත්තා. පාර්ලිමේන්තුවේ 2 /3ක බලයත් ගත්තා. දැන් ඔවුන් ගමේ බලයත් ඉල්ලනවා. ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඔවුන් ජනතාවට බොරු පොරොන්දු රාශියක් දුන්නා. එම පොරොන්දු ඉටු කිරීමට නොහැකි ඔවුන් ගමේ මැතිවරණයටත් ජනතාවට බොරු පොරොන්දු දෙමින් බලය ඉල්ලනවා. නමුත් ඔවුන්ගේ බොරු පොරොන්දු දේශපාලනය දැන් ජනතාවට තේරීලා. රෑ වැටුණු වළේ දවල් වැටෙන්න ජනතාව සූදානම් වන්නේ නෑ. ජාතික ජන බලවේගය බලයට ආවම ඉන්ධන මිල අඩු කරනවා කීවා. තවමත් ඔවුන්ට එය ඉටු කිරීමට නොහැකිවී තිබෙනවා. සියයට 33කින් විදුලි බිල අඩු කරනවා කීවා. එය කළෙත් නෑ. විදුලි බිල සියයට 20කින් අඩු කළේ රජය නෙමෙයි. එය අඩු කළේ මහජන උපයෝගිතා කොමිසම. ජනතාව විසින් එම කොමිසමට කරුණු ඉදිරිපත් කර ඒවා සැලකිල්ලට ගෙන විදුලි බිල අඩු කළා. මේ රජය සෑම විටකම බොරුවෙන් දිනන්න හදන පක්ෂයක්. ඒත් බොරුවෙන් රට ඉදිරියට ගෙන යන්න බෑ. ඊට නිසි පිළිතුරු ජනතාව මෙවර ගමේ ඡන්දයේදී ඔවුන්ට දෙන බවට අපට දැඩි විශ්වාසයක් තියෙනවා. මාලිමාවට බලය හිමි වන පළාත් පාලන ආයතනවලට පමණක් රජයේ ප්‍රතිපාදන දෙන බව ජනාධිපතිවරයා පවසනවා. මෙවැනි ප්‍රකාශ ජනාධිපතිවරයා පවසන්නේ පළාත් පාලන පනත ගැන ඔහුට නිසි දැනුමක් නැති නිසයි. එය කෙසේ වෙතත් සමගි ජන බලවේගයට බලය හිමි වන පළාත් පාලන ආයතනවලට එම ප්‍රදේශ දියුණු කරන්න පුළුවන්. ඒ සඳහා ශක්තිය අපට තිබෙනවා. ”
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, බියගම ප්‍රධාන සංවිධායක ජෝර්ජ් පෙරේරා, කැලණිය ප්‍රධාන සංවිධායක නීතිඥ රජිත ලක්මාල් සහ බියගම කොට්ඨාස කළමනාකරු රවි කුරේ මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.
මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ බියගම සම සංවිධායිකා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරල, මහර ප්‍රධාන සංවිධායක හසිත් ගුණසේකර සහ ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහත්වරු සහභාගි වූහ.