ඉදිරි පළාත් පාලන මැතිවරණයට අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා පොදුජන එක්සත් පෙරමුණ යටතේ පුටුව ලකුණින් තරග කරන ඇතැම් අපේක්ෂකයන් තම නම සහ ඡායාරූප අනවසරයෙන් යොදා ගෙන මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කරන බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට පැමිණිල්ලක් කර තිබේ. ඇතැම් අපේක්ෂකයන් ප්‍රදේශය පුරා තම ඡායාරූපය සහිතව ලසන්ත අලගියවන්න සහ සරණ ගුණවර්ධන යන අයගේද ඡායාරූපද යොදා අත්පත්‍රිකා ගෙයින් ගෙට බෙදමින් සිටින බවත් පෝස්ටර් අලවා ඇති බවත් දැන ගන්නට ලැබුණේ යැයි ඇය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිතව කරන ලද පැමිණිල්ලේ දැක්වේ.
මෙවැනි අත්පත්‍රිකා සහ පෝස්ටර් සඳහා සිය ඡායාරූපය යොදා බෙදා හැරීමට හෝ පෝස්ටර් මුද්‍රණයට කිසිදු අවසරයක් ලබාදී නොමැති බව ද ඇය එහි සඳහන් කර තිබේ.
තමාගේ නම හෝ ඡායාරූපය කිසිදු ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රචාරණ කටයුත්තකට භාවිත නොකරන ලෙසට පැහැදිලිවම පුටුව ලකුණින් අත්තනගල්ල සහ අනෙකුත් ප්‍රදේශවල තරග කරන අපේක්ෂකයන්ට සහ සංවිධායකයන්ට තරයේ දැනුම් දී ඇතැයිද ඇය එම ලිපියෙහි සඳහන් කර ඇත. එසේ තිබියදීත් අනවසරයෙන් තමාගේ නම සහ ඡායාරූපය භාවිත කරමින් එම අපේක්ෂකයන්ට තමා සහාය දෙන බව ප්‍රකාශ කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දෙන හිටපු ජනපතිනිය එම කටයුත්ත වහාම නතර කරන ලෙස කඩිනමින් පොදුජන එක්සත් පෙරමුණේ අදාළ ප්‍රධානීන්ට දැනුම් දෙන ලෙස මෙන්ම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.