පහරදී පුද්ගලයකු මැරූ 5ක් පෝරකයට

මට්ටක්කුලියේ හින්දු කෝවිල් දෙකක බල අරගලය නිසා ඇතිවූ ගැටුමකදී ප්‍රතිවාදී පාර්ශ්වයේ ආධාරකරුවකුගේ නිවෙසට බලහත්කාරයෙන් ඇතුළුව බරපතළ ලෙස පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ වයස අවුරුදු 20-38 අතර තැනැත්තන් 5 දෙනකු එල්ලා මරා දැමීමට කොළඹ මහාධිකරණය ඊයේ (28දා) නියම කළේය.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටි එම චෝදනාවන්ට වැරදිකරුවන් වූ බාලවයස්කරුවන් දෙදෙනකුට මරණ දඬුවම නියම නොකරන බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඔවුන්ට බරපතළ වැඩ සහිතව ජීවිතාන්ත සිරදඬුවම් නියම කළේය.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ මෙයට වසර 14කට පෙර 2012 වසරේ සැප්තැම්බර් මස 26දා මට්ටක්කුලියේ තොටුපොළ පාරේ පිහිටි හින්දු කෝවිල් දෙකක ආධාරකරුවන් අතර ඇතිවූ ආරවුලකදී විකට්පොලු හා පුවක් කොටවලින් පහරදී ෆ්‍රැන්සිස් සුරංජන් කෲස් යන 21 හැවිරිදි තරුණයා ඝාතනය කිරීමේ චෝදනාවට වැරැදිකරුවන් වූ තැනැත්තන් 7 දෙනකුටය.

නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 140, 146 සහ 32 සහ 296 වගන්ති ප්‍රකාරව තුවාල සිදුකර මරණයට පත්කිරීම, පොදු අරමුණක් ඇතිව නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම ඇතුළු අධිචෝදනා 3ක් යටතේ විත්තිකරුවන් 9 දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.

චෝදනා සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පැවැති අතර එහිදී නඩුවේ 4 වැනි සහ 6 වැනි විත්තිකරුවන් ලෙස නම්කර සිටි මරියෝ ජෙයප්‍රකාශ් දොරේරාජ් සහ ජයසිංහ ආරච්චිගේ මනෝජ් රංග යන චුදිතයන් තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාව වන විට මිය ගොස් සිටියහ.

මරණකරුගේ සහෝදරිය පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙමින් “උඹලා ඌව ඉවර කරපන්. ඉතුරු ටික මම බලාගන්නම්” යනුවෙන් නඩුවේ 7 වැනි විත්තිකරු වන පද්මනාදන් ප්‍රකාශ කළ බව කියා සිටියාය.

පහරදීම සැලසුම්කර ඇත්තේ ඔහුගේ නිවෙසේදී බවත් විත්තිකරු දුරකතන ඇමැතුම් දී පිරිස් රැස්කරවා පහරදීමට කටයුතු කර ඔහුගේ පුතාද ආරක්ෂාකර ගනිමින් මරණකරුගේ නිවෙසට ඇතුළු නොවී පිටත සිටිමින් ජනෙල් කවුළුවක් තුළින් බලමින් පහරදීම නිරීක්ෂණය කර ඇති බව නඩුවේදී අනාවරණය විය. විත්තිකරුගේ ප්‍රකාශය අනුව ඝාතනය සැලසුම්කර ඇත්තේ ඔහු බව සනාථ බව විනිසුරුවරයා කියා සිටියේය.

සාක්ෂිකාරියට විත්තිකරු නඩුවට කෙසේ හෝ ඈඳීමේ අරමුණක් නොතිබුණු බව ඔහු නිවෙසට ඇතුළු නොවූ බව ප්‍රකාශ කිරීමෙන් පැහැදිලිවන බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා නිගමනය කළේය. පැමිණිල්ල විසින් ඒකාකාරීව තහවුරු වන විශ්වාසදායී සාක්ෂි ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ කළ විනිසුරුවරයා මරද මුත්තු මූර්ති අර්ෂාඩ්, සිවනේෂන් සබේසන්, කරුවන් මුණියන්ඩි නිරංජන්, පද්මනාදන් සුදර්ශන්, අබ්දුල් රහුමාන් මොහොමඩ් රිස්වි යන විත්තිකරුවන් පස් දෙනාට මරණ දඬුවම් නියම කළේය.

නඩුවේ 2 වැනි සහ 9 වැනි විත්තිකරුවන් වූ මොහොමඩ් ෆවුස් මොහොමඩ් ඉර්ෂාන් සහ සුදර්ශන් සර්වනා යන අයට ජීවිතාන්ත සිරදඬුවම් නියම කරන ලදි. සිද්ධිය සිදුවන අවස්ථාව වන විට ඔවුන් දෙදෙනාගේ වයස අවුරුදු 18ක් සහ 15ක් විය. 9 වැනි විත්තිකරු 8 වැනි විත්තිකරුගේ පුත්‍රයාය.

2022 අංක 38 දරන අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය (සංශෝධන) පනත අනුව යම් වරදකට වරදකරු වන වයස අවුරුදු 18ට අඩු තැනැත්තකුට මරණ දඬුවම නියම කළයුතු වන අවස්ථාවක දණ්ඩ නීති සංග්‍රහයේ 53 වැනි වගන්තිය අනුව ජීවිතාන්ත සිරදඬුවම නියම කිරීමේ හැකියාව අධිකරණයට පවතින බව ප්‍රකාශ කරන බව මහාධිකරණ විනිසුරුවරයා එම විත්තිකරුවන් දෙදෙනාට දඬුවම් නියම කරමින් ප්‍රකාශ කළේය.

දඬුවම් නියම කිරීමට පෙර විත්තිකරුවන්ට කීමට යමක් තිබේදැයි අධිකරණය විමසන ලදි. එහිදී 1 වැනි විත්තිකරු තමන්ට දරුවන් සිටින බව හා බිරිය හැරගොස් ඇති බව කියා සිටින ලදි. “මට ඉන්නේ අම්මා විතරයි. කාත් කවුරුවත් නැහැ. මගේ ජීවිතය තියෙන්නේ ඔබතුමාගේ අතේ. දරුවන් ගැන හිතලා මට සහනයක් දෙන්න” යැයි කීය.

අනතුරුව 3, 5 හා 8 වැනි විත්තිකරුවන් අධිකරණය අමතමින් දරුවන් සිටින බව සහ තමන් මෙම සිදුවීමට මොනයම් හෝ ආකාරයකින් සම්බන්ධ නොවන බව කියා සිටින ලදි.

7 වැනි විත්තිකරු වන සුදර්ශන් දීර්ඝ ප්‍රකාශයක් කළේය. “මේ සිදුවීම වූ දින මගේ අම්මට අසනීපවෙලා හිටියේ. මම අම්මව බලන්න යන්න අර්ෂාඩ්ට එන්න කිව්වා. එයා ආ අවස්ථාවේ මියගිය අය ඔහු සමඟ රණ්ඩු වුණා. එයා ආවේ මගේ ගෙදරට නිසා මම දෙන්න සමාදාන කරලා කෲස්ට යන්න කිව්වා. නමුත් ඔහු අර්ෂාඩ්ට ගැහුවා. එතකොට 30ක් විතර ඇවිත් ඔහුට ගැහුවා. දෙන දඬුවමක් දෙන්න. මම කියන්නේ ඇත්ත” යැයි කියා සිටියේය.

තීන්දුව ප්‍රකාශ කළ අවස්ථාවේ නඩු විභාගය දැක බලා ගැනීමට පැමිණ සිටි විත්තිකරුවන්ගේ ඥාතීන් සංවේදීව හඬා වැටෙන්නට වූයෙන් පොලිස් නිලධාරීන් විසින් ඔවුන් අධිකරණ ශාලාවෙන් ඉවත් කරන ලදි. අනතුරුව විදුලි බුබුළු නිවා දමා විදුලිපංකා අක්‍රිය කිරීමෙන් පසු මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මරණ දඬුවම ප්‍රකාශ කරන ලදි.