ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ නොහැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති පවා උල්ලංඝනය වන අන්දමේ නීති විරෝධී ගිවිසුම්වලට ආණ්ඩුව ඉන්දියාව සමඟ එළැඹ ඇතැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (28) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
“එදා විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස සිටියදී අනුර දිසානායක මහතාගේ වචනවලින් කියනවා නම්, හොර ගිවිසුම් හතෙන් දෙකක් අපි ප්‍රසිද්ධ කළා. ඒ ගිවිසුම් හෙළි කළාට පස්සේ ඒවායේ අන්තර්ගතය පිළිබඳව අපිම සමාජ සංවාදයක් ඇති කිරීම හොඳයි කියලා තීරණය කළා.
තෙල් නළය එළීමේ සහ තෙල් ටැංකි සංවර්ධනය කිරීමේ ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමේ 7.2 (viii) වගන්තියෙන් මේ ව්‍යාපෘතියේ වැඩ කරන්න එන ඉන්දියානුවන්ටත්, මේ ව්‍යාපෘතියට සහාය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණුවලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දෙනවා. දැනට එහෙම මුක්තියක් ලංකාවේ තිබෙන්නේ ජනාධිපතිවරයාට පමණයි. විදුලි රැහැන් ඇදීමේ ද්විපාර්ශ්වීය ගිවිසුමේ හත්වැනි වගන්තිය ලෙස ඒක එහෙම්මම තිබෙනවා.
ඉන්දියානුවන්ට විතරක් නොවේ, ඒ අයගේ නියෝජිතයන් ලෙස වැඩ කරන දේශීය අයට එරෙහිවත් නඩු පවරන්න බැරි වෙනවා. එහෙම වුණොත් පරිසර දූෂණයක් සම්බන්ධයෙන් කිසිවකුටත් නඩු පවරන්න බෑ. අපට මතකයි, මන්නාරමේ අදානි සුළං ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපේ පරිසරවේදීන් අදානි සමාගමට එරෙහිව නඩු පැවරුවා. එවැනි නඩු පැවරීමක් මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරන්න බෑ විතරක් නෙමෙයි පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කිරීම පිළිබඳවත් මේ ගිවිසුම් දෙකේම කිසිම සඳහනක් නෑ. එතැනම බරපතළ පරිසර ප්‍රශ්නයක් ඇති කර තියෙනවා. ව්‍යාපෘතියේ වැඩ කරන සේවකයන් අසාධාරණ ලෙස ඉවත් කළොත් නඩු පවරන්න බැරි වෙනවා. ව්‍යාපෘතියෙන් අසල්වැසි ජනතාවට සිදු වන හිරිහැරවලදී ජනතාවට අසරණව ඒවා විඳ දරා ගන්න වෙනවා. ලංකාව තුළ කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (i) වගන්තියෙන් නීතිය ඉදිරියේ හැමෝම සමානයි කියලා අපට දුන් මූලික මිනිස් අයිතිවාසිකම මේ වගන්තියෙන් අමුඅමුවේ උල්ලංඝනය කර තිබෙනවා. ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ නොහැකි වගන්තියක් ලෙසයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (i) වගන්තිය සලකන්නේ. එවැනි වගන්තියක් උල්ලංඝනය වන ආකාරයටයි ආණ්ඩුව ගිවිසුම්වලට එළැඹිලා තියෙන්නේ. එහෙනම් මේ ගිවිසුම් නීති වීරෝධී, ව්‍යවස්ථා විරෝධී කියන්න ඊටත් වඩා කරුණු අවශ්‍ය වෙන්නේ නෑ.
දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නේ එක දවසට උපරිම පැය පහයි. ඒ නිසා ප්‍රමාණය ඉක්මවා දළදා ප්‍රදර්ශනය පිළිබඳ ප්‍රචාරය කළොත් පාලනය කළ නොහැකි සෙනඟක් එන බව තේරුම් ගතහැකි සරල කාරණයක්. අධි ප්‍රචාරණය අවාසි ගෙන දෙන ක්‍රියාවක් කියලා නවයේ පන්තියේ වාණිජ විෂයටත් අපට ඉගැන්නුවා. ඒ නිසා නවය පන්තිය සමත් ඕනෑම කෙනකුට මේක තේරෙනවා. ඒ නිසා තමයි මීට පෙර දළදා ප්‍රදර්ශනවලදී ප්‍රචාරණය සීමිතව සිදු කළේ. නමුත් දේශපාලන වාසි තකා මාලිමාව කළ අධි ප්‍රචාරණය නිසා මහනුවරට දරාගත නොහැකි ජන ගඟක් ගලා ආවා. හය දෙනෙක් මියගියා. පන්සියයකට ආසන්න පිරිසක් රෝහල්ගත කරන්න වුණා.”