සියයට 65කට සරසවි ප්‍රවේශ සුදුසුකම්

9457ක් විෂයන් 3ටම A අරන්

29,244ක් වැඩ තුනම අසමත්

456කගේ ප්‍රතිඵල අත්හිටුවයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 සඳහා පෙනී සිටි සිසු සිසුවියන් 274,361 ක් අතරින් 177,588 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 64.73 ක් වන අතර විභාගයට පෙනී සිටි සිසුන් 96,773කට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමිව ඇති බව ද ඒ මහතා පැවසුවේය.

විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 222,774 ක් ද, පෞද්ගලික අයදුම්කරුවන් 51,587ක් ද පෙනී සිටි අතර පාසල් අයදුම්කරුවන් 222,774 න් 149,964 ක් ද, පෞද්ගලික අයදුම්කරුවන් 51,587 න් 27,624 ක් ද විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා තිබේ.

පාසල් අයදුම්කරුවන් 420 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 36 ක් ලෙස සමස්ත අයදුම්කරුවන් 456 කගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ජීව විද්‍යා විෂය ධාරාව යටතේ පෙනී සිටි සිසුන් අතරින් පළමු තැන හිමි කර ගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සඳිති නිම්තාරා හෑගොඩ ආරච්චි සිසුවිය සමත්ව ඇති අතර ඇගේ ඉසෙඩ් ලකුණ 2.9964 කි. එම විෂය ධාරාවෙන් දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ජුලියා කල්පා විදුසරණී ශිෂ්‍යාව සමත්ව ඇති අතර, තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට යාපනයේ හින්දු විද්‍යාලයේ ජමුනානන්දා ප්‍රණවන් ශිෂ්‍යයා සමත්ව ඇත.

භෞතික විද්‍යා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ලෙසඳු රන්සර කුමාරගේ සිසුවා සමත්ව ඇති අතර එහි දෙවැනි ස්ථානය පේදුරුතුඩුව හාට්ලි විදුහලේ කන්දදාසන් දසරත් සිසුවා හිමිකර ගෙන තිබේ. තෙවැනි ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විදුහලේ තෙවිඳු දිල්මිත් දහනායක සිසුවා හිමි කරගෙන ඇත.

වාණිජ විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට කොළඹ විශාකා විද්‍යාලයේ අමාශා දුලාරි සිසුවිය සමත්ව තිබේ. දෙවැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ඉඳුවර සන්හිත කුමාරපේලි සිසුවා ද, තෙවැනි ස්ථානය නුගේගොඩ සුජාතා විද්‍යාලයේ ලෙසඳි උතාරා පෙරේරා ශිෂ්‍යාව ද හිමි කරගෙන තිබේ.

කලා අංශයෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවිය සමත්ව තිබේ. දෙවැනි ස්ථානය රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ දිනෙත්මි මෙතන්ගා ජනකාන්ත සිසුවිය ද, තෙවැනි ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ඉසුරි අංජලිකා පීරිස් ශිෂ්‍යාව ද හිමි කරගෙන ඇත.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය නාරම්මල මයුරපාද විද්‍යාලයේ කාව්‍ය රවිහංස සිසුවා හිමි කරගෙන තිබේ. දෙවැනි ස්ථානය රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ උෂාන් මලිත් ජයසූරිය සිසුවා ද, තෙවැනි ස්ථානය හික්කඩුව නාගස්දෙණිය ශ්‍රී සුමංගල විද්‍යාලයේ පසිඳු මදුසංක සිසුවා ද හිමි කර ගැනීමට සමත්ව තිබේ.

ජෛව පද්ධති විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය සඳලංකාව ජාතික පාසලේ නෙත්මි නවෝද්‍යා මාරසිංහ සිසුවිය සමත්ව ඇත. දෙවැනි ස්ථානය මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ මහීෂා පතිරණ සිසුවිය ද, තෙවැනි ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ චමෝදි හංසිකා සිසුවිය ද හිමි කර ගෙන ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk හෝ www.results.exams.gov.lk නිල වෙබ් අඩවිවලින් ප්‍රතිඵල ලබාගත හැකිය.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය මැයි මස 02 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.