රනිල් අද නාවොත් නීති පියවර-අල්ලස් කොමිසම කියයි

අවස්ථා දෙකකදීම කළ කැඳවීමට නිසි ප්‍රතිචාර නොදක්වමින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී නොසිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දිනයේත් කොමිසම හමුවේ පෙනී නොසිටියහොත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබේ.

2023 අංක 09 දරණ දූෂන විරෝධී පනතේ 126 වගන්තිය ප්‍රකාරව කටයුතු කරන බවට අවධාරණය කරන බව සඳහන් කරමින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් හිටපු දිසා විනිසුරු ආර්.එස්.ඒ. දිසානායක මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීමක්ද කර ඇත.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී සිදුකළ දූෂිත ගනුදෙනු 03ක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වන චාමර සම්පත් දසනායක මහතා සැකපිට අත්අඩංගුවට ගැනීම හා ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස මැදිහත් වී මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිෂන් සභාව විසින් කැඳවූ අවස්ථා දෙකකදීම විවිධ හේතූන් පවසමින් කොමිසම හමුවේ පෙනී නොසිටියේය.

ඒ අනුව තුන්වැනි දැනුම්දීමද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කරනු ලබන්නේ 28 දා පෙරවරු 9.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසය.

මින් පෙර යවන ලද 2025.04.11 සහ 2025.04.21 දිනැති දැන්වීම්වලට වැඩිමනක් ලෙස මෙම දැනුම් දීම සිදු කර ඇති බව දැනුම් දෙමින් එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් හිටපු දිසා විනිසුරු රංග දිසානායක මහතාගේ අත්සනින් යුක්තව මේ දැනුම් දීම සිදු කර තිබේ.

“අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකරුවකු සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස මැදිහත්වී ඔබ විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරන ලදි. එම ප්‍රකාශයේ අඩංගු කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අවස්ථා දෙකකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙසට මින් පෙර ඔබ වෙත දන්වා ඇති බව ද එම ලිපියේ දක්වා ඇත.

ඉන් අනතුරුව 2025.04.25 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙසට ඔබ වෙත දන්වා ඇති දැන්වීමට පිළිතුරු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතිඥ රොෂාන් ගමගේ මහතා විසින් එවන ලද ලිපියේ කරුණු සලකා බලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට, ඉල්ලා ඇති පරිදි 2025.04.28 දිනය ලබා දෙන ලෙසට කළ දැනුම් දීමට අනුව මේ දිනය ලබා දී ඇතැයිද එහි දක්වා ඇත.

ඒ අනුව 2025/04/28 දින පැය 9.30ට, කොළඹ 05, ජාවත්ත පාර, පැරණි හැඳුනුම්පත් දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලේ පිහිටි මෙම කොමිෂන් සභාවේ දූෂණ විමර්ශන අංශ iii හි පෙනී සිටීම සඳහා පැමිණෙන ලෙසට උක්ත පනතේ 49 (1) වගන්තිය ප්‍රකාරව මෙයින් දන්වා සිටිමි” යනුවෙන් එම දැනුම්දීම අධ්‍යක්ෂ ජනරාල් විසින් කර තිබේ.