භික්ෂු වෙසින් දළදා වඳින්න ගිය කිරිඳිවැල සිසුවා අත්අඩංගුවට

දළදා වහන්සේ වන්දනා කිරීමේ අපේක්ෂාවෙන් භික්ෂු වෙසින් පැමිණි 17 හැවිරිදි පාසල් සිසුවෙක් ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන දොරටුව ආසන්නයේ දී පොලීසිය පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත.

කිරිඳිවැල පදිංචි මෙම සිසුවා 12වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙක් බව පොලීසිය සඳහන් කළේය.

දළදා වහන්සේ වන්දනා කිරීමේ අපේක්ෂාවෙන් පැමිණෙන භික්ෂුන් වහන්සේ සඳහා වෙනම පෝලිමක් ස්ථාපිත කර ඇති බව පොලීසිය සඳහන් කළේය. එම පෝලිම ඇති ස්ථානය සම්බන්ධයෙන් විහාරස්ථාන මට්ටමින් දැනුවත් කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව දළදා වහන්සේ වන්දනා කිරීමට භික්ෂුන් වහන්සේ කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ලබන්නේ විහාරස්ථාන මට්ටමින් දැනුම් දී ඇති ස්ථානයට බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

සිවුරක් පැලඳ භික්ෂුන් වහන්සේ නමක් ලෙස පැමිණි 17 හැවිරිදි සිසුවා භික්ෂුන් වහන්සේ වෙනුවෙන් වෙන් කර ඇති ස්ථානයට නොගොස් වෙනත් ස්ථානයකින් දළදා වහන්සේ වන්දනා කිරීමේ අපේක්ෂාවෙන් පෝලිමකට එක්වීමට උත්සාහ දරා ඇති බව ද එම නිලධාරියා පැවැසීය. භික්ෂු වෙස් ගත් මෙම තරුණයා තනිවම පැමිණ සිටීමත් සිවුරු හැඳ සිටින ආකාරයත් ඔහුගේ හැසිරීමත් ගැන සැක සිතූ පොලීසිය ඔහුගෙන් විහාරස්ථානය සහ නායක හිමියන් සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේ දී කලබල වී ඇත. ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාසල් සිසුවෙක් බව අනාවරණය වූ බව ද එම නිලධාරියා සඳහන් කළේය.

මෙම සිසුවා 2016 වසරේ ඔහුගේ වයස අවුරුදු 08 දී මාස 06ක කාලයක් මහණ වී සිට ඇති බව ද විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. මෙම සිසුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.