ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ සැලසුම්කරු අල්ලයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළොන්නාව නගර සභාවට ඉදිරිපත්ව සිටි සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනයේ සැලසුම්කරුවකු බවට හඳුනාගත් සැකකරුවකු ඇතුළු පිරිසක් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනයේ සැලසුම්කරු ලෙස හඳුනාගෙන අත්අඩංගුවට ගෙන සිටින්නේ මීතොටමුල්ල පන්සල්හේන පාරේ පදිංචිකරුවෙකි. සෙසු සැකකරුවන් මීතොටමුල්ල, වැල්ලම්පිටිය සහ කොළොන්නාව ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ඩෑන් ප්‍රියසාද් මහතා ඝාතනය වීමත් සමඟ සැලසුම්කරු ලෙස හඳුනාගෙන සිටින පුද්ගලයාත් ඔහුගේ පියාත් සහෝදරියත් ඇතුළු පවුලේ සාමාජිකයන් ඔවුන් පදිංචි පන්සල්හේන පාරේ පිහිටි නිවස වසා දමා පලායාමට උත්සහ දරා ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. ඒ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඔවුන් පොලිස් භාරයට ගෙන කළ විමර්ශනයේදී ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනයේ සැලසුම්කරුවකු ලෙස ඔහුව හඳුනාගත් බව ද එම නිලධාරියා පැවැසීය.

පුද්ගලික ආරවුලක් මත පසුගිය 20 වැනිදා ඩෑන් ප්‍රියසාද් මහතා විසින් පන්සල්හේන පාරේ නවතා තිබුණු ත්‍රීරෝද රථයකට පහරදී හානිකර ඇති බව ද එම නිලධාරියා කීය. එම ත්‍රීරෝද රථයේ හිමිකරු මෙම ඝාතනයේ සැලසුම්කරු ලෙස හඳුනාගෙන අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා බව ද එම නිලධාරියා කීය.

පහරදීම ගැන පැමිණිල්ලක් එම සැකකරු හෝ ඩෑන් ප්‍රියසාද් මහතා හෝ පොලීසියට සිදු කර නැත. ඒ වෙනුවට වෙනත් පුද්ගලයකු විසින් පොලීසියට පැමිණිල්ලක් කර ඇත්තේ තමාගේ ත්‍රීරෝද රථයට ඩෑන් ප්‍රියසාද් මහතා විසින් පහර දී හානිකර ඇති බවටය. මෙම පැමිණිල්ල කර ඇත්තේ වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙතය. එම පැමිණිල්ල කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

පැමිණිල්ල විභාග කිරීමට ඊට පසු දිනක වැල්ලම්පිටිය පොලීසිය විසින් ඩෑන් ප්‍රියසාද් මහතා පොලීසියට කැඳවා ඇතත් ඔහු පැමිණ නැත. ඩෑන් ප්‍රියසාද් මහතා ඝාතනය කිරීමේ මුල් සැලසුම තිබී ඇත්තේ ඔහු පොලිස් ස්ථානයට පැමිණ ආපසු යමින් සිටියදී බවට සැක කරන තොරතුරු ද මේ වන විට හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි. ත්‍රීරෝද රථයට පහරදී හානි කළ බවට තුන්වැනි පාර්ශ්වයක් මඟින් පැමිණිල්ලක් කරවා ඇත්තේද එම සැලසුමකට අනුව බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

සිය බිරියගේ සහෝදරිය විසින් සාලමුල්ල ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ හය වැනි මහලේ නිවසේ සංවිධාන කළ අලුත් අවුරුදු සාදයට පැමිණ සිටියදී ඩෑන් ප්‍රියසාද් මහතාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ එම මුල් සැලසුම ව්‍යර්ථවීමෙන් අනතුරුව බව පොලීසිය සැකකරයි. ඩෑන් ප්‍රියසාද් මහතා සිය බිරිය හා දරුවන් දෙදෙනා සමඟ මෙහි පැමිණ ඇති බවත් ඔහු මෙම ස්ථානයට පැමිණෙන බව දැන සිටියකු ලබාදුන් තොරතුරක් ඔස්සේ වෙඩික්කරුව එම ස්ථානයට එවා වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන බවත් පොලිස් විමර්ශනවලින් පෙනීගොස් තිබේ. එම තොරතුර ලබාදුන්නේ එකටම සිටි අයකුද නැතිනම් නිවාස සංකීර්ණයේ සිටි වෙනත් පුද්ගලයකුද යන්න ගැන විමර්ශන තවදුරටත් පැවැත්වෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම ඝාතනයේ සැලසුම්කරු ලෙස හඳුනාගත් පුද්ගලයා ඩුබායි හී රැඳී සිටින පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවකු වන සිංහපුර ධනුෂ්ක නමැති පුද්ගලයා සමඟ සම්බන්ධකම් පවත්වන අයකු බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. ඩෑන් ප්‍රියසාද් මහතා විසින් ත්‍රීරෝද රථයට හානි කිරීමෙන් අනතුරුව ත්‍රීරෝද රථයේ හිමිකරු වන දැනට අත්අඩංගුවේ පසුවන ඝාතන සැලසුම්කරු බව කියන පුද්ගලයා ඒ බව ඩුබායි හී රැඳී සිටින ධනුෂ්කට පවසා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක වී ඇත්තේ එතැන් සිට බව පෙනී යන බවත් යුරෝපීය රටක රැඳී සිටින කංජිපානි ඉම්රාන් ඇතුළු තවත් පාතාලයේ අපරාධකරුවන් පිරිසකගේද සම්බන්ධයක් ඊට ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.