ගුවන් සේවිකාවන්ට කරදර කළ මගියාට රු.26,500ක දඩයක්

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් සේවිකාවන් දෙදෙනකුට ලිංගික හිරිහැර කර සෙසු මගීන්ට කරදරයක් වන ආකාරයෙන් හැසිරුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (24) රුපියල් 26,500ක දඩ මුදලක් නියම කළේය. දඩ මුදල නො‍ෙගවන්නේ නම් විත්තිකරුට ලිහිල් වැඩ සහිත මාසයක සිරදඬුවම් ලබා දෙන ලෙසටද අධිකරණයෙන් නියම විය.

ඇප මත මුදා හැර සිටි සැකකරු ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා වරද පිළිගන්නා බවට ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා කළ කරුණු දැක්වීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේය.

මෙරට හා ස්වීඩනය යන දෙරටෙහිම ද්විත්ව පුරවැසිභාවය හිමි 65 හැවිරිදි කන්දයියා තුරේසිංහම් යන සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ගුවන්තොටුපොළ පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ ඉන්දියාවේ මුම්බායි සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා පැමිණි ගුවන් යානයක සිටි මගියකු විසින් එම යානයේ ගමන් ගත් ගුවන් සේවිකාවන් කිහිප දෙනකුට ලිංගික හිංසනයන් සිදු කර සෙසු මගීන්ට ද හිරිහැරයක් වන ආකාරයෙන් කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවය.

සිද්ධියට අදාළව ගුවන්තොටුපොළ පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව 65 හැවිරිදි සැකකාර පුද්ගලයා ඉකුත් මාර්තු 12 වන දින අලුයම ගුවන්තොටුපොළ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු මාර්තු 12 අලුයම 12.45ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්-144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී, අධික ලෙස මත්පැන් පානය කර සිටි බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වීය.

ඉන් අනතුරුව එම ගුවන් යානය තුළ සිටි මගීන්ට කරදර වන ආකාරයට හැසිරීමට පටන් ගෙන ඇති අතර පසුව එම යානය තුළ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනකු වෙත ලිංගික අඩන්තේට්ටම් කිරීමට ඔහු තැත් කර ඇති බව ද පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය.

පසුව ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීන් ඔහු මැඬ පවත්වා තිබූ අතර, මෙම සිදුවීම පිළිබඳ, ගුවන් නියමුවා දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබූ බව ද පොලීසිය අධිකරණයට දැන්වීය.

ඒ අනුව, සිදුකළ දැනුම්වත් කිරීම අනුව ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවූ පසුව, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන්, ගුවන්තොටුපොළ පොලීසිය සමඟ පැමිණ, මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකළ බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වීය.

ගුවන් මගියාව පොලීසිය විසින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර තිබූ අතර, එහි දී මොහු මත්පැන් පානය කර ඇති බවට සාක්ෂි අනාවරණය වූ බව ද පොලීසිය අධිකරණයට දැන්වීය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට දඩ නියම කළේය.