මිහිතල දිනය සමරමු-යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලය

“ඔබ වෙසෙන මිහිතලයට ඔබගේ සහාය අවශ්‍යව තිබේ.” මෙය අද දවසේ අප මුහුණ දෙන පාරිසරික ඛේදවාචකයේ සැබෑ යථාර්ථයයි.මෑත කාලීනව මියන්මාරයේ සිදුවූ දරුණු භූ චලන, අමෙරිකා එක්සත් ජනපදයේ ඇතිවූ දරුණු ළැව්ගිනි තත්ත්වය අපට කියාපාන්නේ කුමක්ද? ‘සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැත’ යන සදාතනින සත්‍ය නොවේද? අසීමිත සම්පත් පරිභොජනයත්, අධික ජනගහනයත්, හේතුවෙන් අද වන විට සොබාදහමේ තුලිතතාවය බිඳීගොස් ඇත. එම තුලනය ඇතිකිරීමේ තවත් එක් වෑයමක්, වගකීමක් ලෙස මිහිතල දිනය සැමරීම පෙන්වා දිය හැකිය.

මිහිතල දින සැමරුම යනු මිහිතලයට මානවයා වෙතින් වන හානිය වළක්වා ගැනීම සඳහා මිනිසා පෙලඹවීමත් මිහිතලය රැකබලා ගැනීමේ සහ සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ සමස්ත ලෝකවාසී ප්‍රජාවම දැනුවත් කිරීමත් සඳහා උපයෝගී කරගන්නා දිනයකි.

ප්‍රථම වතාවට මිහිකත දිනයක් සමරනු ලබන්නේ 1970 වසරේදීය. මෙවර අප සමරනු ලබන්නේ 55 වැනි මිහිතල දිනයයි. මෙවර එහි තේමාව වන්නේ Our Power- Our Planet(යොදා මිනිස් බලයක්-රැකගමු මිහිතලය) යන්නයි. මෙම දිනය ප්‍රකාශයට පත්කිරීමට මුල්වන්නේ පරිසර අධ්‍යාපනයේ පුරෝගාමියෙකු වූ අ‍ෙමරිකා එක්සත් ජනපදයේ ගේලෝඩ් නෙල්සන් නම් සෙනට් සභිකයායි. එකල වියට්නාම් යුද්ධයට එරෙහිව මිනිසුන් හඬ නඟමින් සිටියද, යුද්ධයෙන් සිදුවන පරිසර විනාශය ගැන කිසිවෙකුත් අවධානය යොමු නොකරන බව දුටු ඔහු තෙල් වැගිරීම්, කෘමිනාශක, විෂ දුමාරය වැනි දෙයින් පෘථිවියට වන හානිය පිළිබඳව මහජන අවධානය යොමු කළේය. ඒ අනුව ප්‍රථම වතාවට 1970 දී සමරනු ලැබූ මිහිතල දිනයට අමෙරිකානුවන් මිලියන විස්සක් සහභාගි වූ බව කියැවේ.

අ‍ෙමරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වී පසුව දසත ව්‍යාප්ත වූ සංකල්පයක් වන මෙම දින සැමරුම 1990 වන විට ලොව රටවල් 141ක පුද්ගලයෝ මිලියන 200ක සහභාගිත්වයෙන් සමරනු ලැබූහ. 2000 වර්ෂය වන විට ලෝකයේ පරිසර සංවිධාන 5000ක දායකත්වයෙන් රටවල් 184ක සමරනු ලබන අතර, එතෙක් Earth Day නම් වූ මෙම දිනය 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා සභාව විසින් International Mother Earth Day නමින් නම් කරන ලදි.

2016 වසරේ සිට සෑම වසරකම ලෝක මිහිතල දිනය ඊටම වෙන්වූ තේමාවකින් සමරනු ලබන අතර, දේශගුණ විපර්යාස වෙනුවෙන් ගතයුතු පියවරයන්, ප්ලාස්ටික්වලින් සිදුවන දූෂණය නතර කිරීම, ජීවී විශේෂ සුරැකීම, පාරිසරික හා කාලගුණික සාක්ෂරතාවය වැනි කරුණු තේමා කරගනිමින් පසුගිය වසරවල මිහිතල දිනය සමරා තිබේ.

2025 වසරේදී අප මුහුණ දෙන පාරිසරික අභියෝග දේශගුණික විපර්යාස ගෝලීය උෂ්ණත්වය පෙර නොවූ විරූ ලෙස ඉහළ යාමත්, ආන්තික කාලගුණික සිදුවීම්වලට මුහුණදීමට සිදුවීමත්, මුහුදු මට්ටම ඉහළ යෑම සහ අයිස් දියවීමත් ප්‍රබල දේශගුණික විපර්යාසයන් ලෙස දැක්විය හැකිය. මෙම වෙනස්වීම් ආහාර සුරක්ෂිතතාව, ජල සම්පත අහිමි වීම සහ මිනිස් සෞඛ්‍යයට තර්ජනයක් ලෙස දැක්විය හැකිය.

ජෛව විවිධත්වය අහිමි වීම

ස්වාභාවික නිජබිම් සීඝ්‍රයෙන් විනාශ වීම වන හායනය හා පරිසර දූෂණය, ජීවී විශේෂ වඳවී යාමේ වේගය මෙම සාධක තීව්‍ර කර ඇත. ජෛව විවිධත්ව හානිය පරිසර පද්ධතියේ ස්ථායීතාවයට ඍජුවම බලපාන අතර, ස්වාභාවිකව පරිසර පද්ධතිවලට ඔරොත්තු දීමේ හැකියාව අවම කර ඇත.

මිනිස් සෞඛ්‍යයට කරන බලපෑම්

වායුගෝලය අපවිත්‍ර වීම, ජල චක්‍රය විෂම වීම හා ප්ලාස්ටික් මඟින් පරිසරයට වන හානිය මිනිස් සෞඛ්‍යයට දිගින් දිගටම බලපෑම් සිදු කරයි. අපද්‍රව්‍ය අවම කිරීමට සහ ප්‍රතිචක්‍රීකරණ ප්‍රවර්ධනයට කොතරම් උත්සාහකළද ප්ලාස්ටික් තවමත් අපගේ සාගරවල ආධිපත්‍ය දරනු ලබයි. මෙම තත්ත්වය මිහි මත ජීවීන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් නොවන්නේද?

වන විනාශය හා භූමි හායනය

කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ජෛව විවිධත්වය සුරැකීමට සහාය වීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන වනාන්තර මේ වන විට දැඩි ලෙස හායනයට ලක් වෙමින් පවතී. කෘෂිකර්මාන්තය සඳහා භූමිය අධික භාවිතය, ජනගහන ව්‍යාප්තිය සමඟ නාගරීකරණය වැනි හේතු නිසාවෙන් භූමි හායනය හා ආහාර අනාරක්ෂිතතාව දැඩි ගැටලුවක් වෙමින් පවතී.

මෙම අභියෝග ගෝලීය ස්වභාවයන් ගන්නා අතර, එක් කණ්ඩායමකට ඒවා තනිව විසඳිය නොහැකිය. එහෙත් සාමූහිකව එක්වී ගෝලීය ක්‍රියාකාරීත්වය තුළින් සිදු වන හානිය අවම කිරීම හෝ ආපසු හැරවීමට සහ තවදුරටත් හානිය වළක්වා ගැනීමට සැලකිය යුතු ප්‍රගතියක් ලබාගැනීමට කටයුතු කළ යුතුය.

ගෝලීය සහයෝගීතාවයේ වැදගත්කම

මෙවර මිහිතල දිනයේ වැදගත්ම අංගය වන්නේ ජාත්‍යන්තර සහයෝගිතාවයේ වැදගත්කම ඉස්මතු කිරීමයි. 2015 දී අත්සන් කරන ලද පැරිස් ගිවිසුම ගෝලීය දේශගුණික ක්‍රියාකාරකම්වල ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

මේ වන විට ගෝලීය උණුසුම 20C ට වඩා අඩු කිරීමට ජාතීන් වශයෙන් කැපවී ක්‍රියාත්මකව සිටී. මෙවර මිහිතල දිනයෙන් සියලු රාජ්‍යයන්ට ඔවුන්ගේ පොරොන්දු නැවත සිහිපත් කිරීමටත් කැපවීමට සහ වඩාත් අභිලාෂකාමී ඉලක්ක කරා ඔවුන් යොමු කිරීමටත් වේදිකාව සකසනු ලබයි.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කරගැනීමටත් අන්තර් සංවර්ධිත පාරිසරික, සමාජීය සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා මාර්ග සිතියම් සකස් කිරීමේ කාර්යභාරය ගෝලීය සහයෝගයේ වැදගත්කම තුළ පෙන්වා දෙයි.

අපට කළ හැකි දේ

2025 මිහිතල දිනය වනජීවීන් හා වාසස්ථාන සංරක්ෂණය සඳහා වන ගෝලීය උත්සාහයකි. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම හා පරිසර සමතුලිතතාව සහතික කිරීම ජාතික වනෝද්‍යාන හා සමුද්‍ර රක්ෂිත වැනි ප්‍රදේශ සංරක්ෂණය මෙහිදී කැපී පෙනේ.

විශ්වීය වශයෙන් ගෝලීය උත්සාහයන් තීරණාත්මක සාධකයන් වන අතර, පුද්ගල ක්‍රියා ඉතා වැදගත් වේ. මේ සංකල්පය රජයකට පමණක් නොව, පුද්ගලයන් වශයෙන් ක්‍රියා කිරීමට අභිප්‍රේරණය කිරීමකි. වඩාත් සුරක්ෂිත මිහිතලයක් සඳහා වන සටනට පුද්ගලයන්ට දායක විය හැකි ක්‍රම කිහිපයකි.

කාබන් පියසටහන් අඩු කරන්න දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ කාබන් විමෝචනය අඩු කිරීමයි. පෞද්ගලික ප්‍රවාහනය වෙනුවට පොදු ප්‍රවාහන සේවා භාවිතය හෝ බයිසිකල් තෝරාගැනීම, බලශක්ති කාර්යක්ෂම උපකරණ වෙත මාරුවීමට සහ සූර්ය බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙත යොමුවීම මෙහිදී වැදගත් කාර්යභාරයකි. තිරසර අනාගතයක් වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති හා තිරසර තාක්ෂණය සඳහා දැඩි කැපවීමක අවශ්‍යතාව අවධාරණය කරයි.

මනා ජල පරිභෝජනයට හුරුවීම

ජලය සංරක්ෂණය කිරීම, ජල කාර්යක්ෂම උපකරණ භාවිතය සහ දෛනික කටයුතුවලදී ජල නාස්තිය අවම කිරීම වැනි සරල පියවර මානව ජීවිතවලට තීරණාත්මක බලපෑමක් කරයි.

ලෝකයේ විවිධ රටවල් සහ සමාගම් හරිත බලශක්ති යටිතල පහසුකම් හා නවෝත්පාදනයන් සඳහා දිරිමත් කිරීමට පියවර ගත යුතුය. ශුන්‍ය අපද්‍රව්‍ය ජීවන රටාවකට හුරුවීම තනි භාවිත ප්ලාස්ටික් අඩු කිරීම සහ පරිසර හිතකාමී ඇසුරුම් සහිත ව්‍යාපාර දිරිගැන්වීම වැනි ශුන්‍ය අපද්‍රව්‍ය පිළිවෙත් අනුගමනය කිරීමට දිරිගැන්විය යුතුය.

තිරසර පරිභෝජනය හුරුවීම

තිරසරත්වයට මුල් තැන දෙන ව්‍යාපාරවලට සහාය වීම, පරිසර හිතකාමී නිෂ්පාදන මිලදී ගැනීම සහ අපද්‍රව්‍ය අවම කිරීම මඟින් පුද්ගලයන්ට පාරිසරික හානිය අවම කරන චක්‍රිය ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීමට දායකත්වය සැපයිය හැකිය.

ග්‍රාමීය ප්‍රජාව සම්බන්ධ කරගෙන පැළ සිටුවීම, ප්‍රාදේශීය පරිසර සංවිධාන පිහිටුවා ගැනීම මඟින් ප්‍රජාව තිරසර සංවර්ධනය කෙරෙහි දිරිමත් කළ හැකිය.

ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස ප්‍රතිපත්ති සකස් කිරීමට කටයුතු කිරීම හා ඒ සඳහා පෙනී සිටීම, ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ සම්බන්ධ වීම සහ පාරිසරික ගැටලුවලට මුල්තැන දෙන ලෙස ඉල්ලා සිටීම, ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිපත්ති සැකසීමට උපකාරී වේ. මෙවැනි දිනක අප අදිටන් කර ගත යුතු වන්නේ පුරවැසියන් ලෙස තම වගකීම මනාව හඳුනාගෙන ඒ සඳහා කුඩා පියවරක් හෝ තැබීමටයි.