දුසැරියට එරෙහි කාන්තා එකමුතුව සංවිධාන කළ වැඩමුළුවේ දී නීතිඥ ජගත් ලියනාරච්චි කියයි
සුපිළිපන්, දුසැරියට එරෙහි මහජන නියෝජිතයෙක් කිසි විටෙකත් තමන්ගේ හොඳ ගතිගුණ පාවා දෙන්නේ නැහැයි නීතිඥ ජගත් ලියනාරච්චි මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (22) දුසැරියට එරෙහි කාන්තා එකමුතුව සංවිධාන කළ වැඩමුළුවකට එක්වෙමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
කාන්තා නියෝජනය වර්ධනය කිරීම හරහා මහජන නියෝජිත ආයතනවල විශේෂ හැඩයක් එයි කියලා අපි හිතුවා. පිරිමින්ට සාපේක්ෂව කාන්තාව දුසැරියට සම්බන්ධ නැහැ කියලා මතයක් සමාජය තුළ තිබෙනවා. මෙවර පළාත් පාලන මැතිවරණයේදී කාන්තා කෝටාවට අමතරව තරුණ කෝටාවකුත් තිබෙනවා. වත්මන් තරුණයින් දුසැරියට එරෙහිව එළිපිට සටන් කරන පිරිසක් නිසා ඒ කෝටාව වැදගත්.
මැතිවරණ ප්රචාරක නියාමන වියදම් පනත යටතේ පවත්වන පළමු පළාත් පාලන ආයතන මැතිවරණයත් මෙයයි. මේ නිසා මැතිවරණ අපේක්ෂකයින් 77000කට අධික පිරිසක් අනාගතයේ දී මැතිවරණ වියදම් ලබා දීමට නියමිතයි. ඒ නිසා මෙවර මැතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ කැම්පේන් එක සම්පූර්ණයෙන්ම ජනතාවට නිරාවරණය වූවක්.
ඉස්සර සමහර කොට්ඨාසවල අපේක්ෂකයෝ ලක්ෂ සියයකටත් වඩා වැඩි මුදලක් වියදම් කළා. මේ විදිහට වියදම් පාලනය කිරීම නිසාත් පළාත් පාලන මැතිවරණයේදී කාන්තාවට හොඳ අවස්ථාවක් හිමි වෙනවා. ඒ සල්ලි ගස් හොලවලා කරපු මැතිවරණ ක්‍රමවේදය නතර වන නිසයි.
දූෂණ විරෝධී පනත යටතේ පවත්වන පළමු පළාත් පාලන මැතිවරණයත් මේ මැතිවරණයයි. අපේක්ෂකයෝ ඉදිරිපත් කරන වත්කම් බැරකම් ප්‍රකාශවල දෝෂයක් තිබුනොත් සිරගත වෙන්නත් ඉඩ තියෙනවා. පුරවැසියන්ට විගණන කාර්යයටත්, අපරාධ පරීක්ෂණයටත් සම්බන්ධ අවස්ථාවක් ලැබෙනවා වගෙයි. මැතිවරණ වියදම් නියාමන පනත යටතේ පැවැත්වෙන පළමු පළාත් පාලන ආයතන මැතිවරණය වෙන්නෙත් මේ මැතිවරණයයි. ඒ කාලේ මැතිවරණ වැරදිවලදි රුපියල් 50ක් වුණු දඩ මුදල දැන් රුපියල් 25000ක්, ලක්ෂයක් වෙලා තියෙන්නේ. ඡන්ද පෙත්සමක කාලයත් දින 21 සිට 49 දක්වා දීර්ඝ කරලා. මේ නිසා අපේක්ෂකයෝ ඉදිරිපත් කරන මැතිවරණ වියදම් ප්‍රකාශ පරිශීලනය කරලා පෙත්සමක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව පුරවැසියන්ට තිබෙනවා.
මේ අණ පනත් පළාත් පාලන ආයතනවල දුසැරිය පිටුදැකීම සඳහා පවතින නීතිමය ප්‍රතිපාදන. සුපිළිපන් මහජන නියෝජිතයින් තමන්ගේ රාජකාරිය හා වගකීම හරියටම ඉටුකරනවා.
ආචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය
දේශපාලනයට පිවිසෙන කාන්තාවකට ඒ ක්ෂේත්‍රෙය් ඉහළට යන්න පවුල් පසුබිමක් හෝ සමාජ සම්බන්ධතාවක් තිබිය යුතු නැහැ. ඒ සඳහා දේශපාලන පක්ෂවල ක්‍රමවේදයක් තිබිය යුතුයි. ස්ත්රීන්ට දේශපාලනයට පිවිසෙන්න දේශපාලන පක්ෂ ඇතුළේ තිබෙන බාධාවන් ඉවත් විය යුතුයි.
දුසැරියට එරෙහි කාන්තා එකමුතුවේ කැඳවුම්කරු කනකා අබේගුණවර්ධන
කාන්තා නියෝජිතයන් දූෂණයට එරෙහිව සවිබල ගැන්වීම අපේ උත්සාහයයි. ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ සෑම විෂය ධාරාවකම 50%කට වැඩියෙන් ඉන්නේ කාන්තාව. ඔවුන් රටේ උන්නතියට දායක කර ගත යුතුයි.
මාධ්‍ය වෘත්තික අනෝමා රාජකරුණා මහත්මිය –
පරම්පරාවක් කියන්නේ වසර තිහක්. කාන්තා නියෝජනය 25%ක් කියන කෝටාව දිනා ගන්න අපිට වසර තිහකට වැඩි කාලයක් ගත වුණා. ඒ කියන්නේ ඊළඟ පරම්පරාවෙ කාන්තා නියෝජනය සඳහා එක පරම්පරාවක් දරදිය ඇද්දා. කාන්තාවට දේශපාලනයේ නියැළිය හැකි යහපත් පරිසරයක් නිර්මාණය විය යුතුයි. ඒ සඳහා මාධ්‍ය මැදිහත්වීම මඟින් ආකල්ප වෙනසක් ඇති කළ හැකියි. ලෝකයේ පළමුවෙනි අගමැතිනිය බිහි කරපු අපි 25% නියෝජිත කෝටාව දිනාගන්න සෑහෙන කාලයක් ගත කළා.
මෙහිදී මානව හිමිකම් ක්‍රියාකාරිනී ශ්‍රීන් සරූර් මහත්මිය ද කතා කළාය. මෙම අවස්ථාවට ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂිකාවෝ ඇතුළුව විශාල පිරිසක් සහභාගි වූහ.