ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සිදු කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය හේතුවෙන් රටට විශාල ආර්ථික පාඩුවක් මෙන්ම ජනතාවට විශාල හානියක් සිදු වූ බව නීතිපතිවරයා විසින් අදාළ ඉල්ලීම කරමින් යවන ලද ලිපියෙහි සඳහන් වේ.
මේ හේතුවෙන් රාජ්‍යයට සිදු වී ඇති පාඩුව සහ මහජනයාට සිදුවූ හානිය යන කරුණු සැලකිල්ලට ගෙන 2018 අංක 9 දරන විශේෂ පනත යටතේ මෙම නඩු පැවරීම සිදු කිරීමට නියමිත බව එහි දැක්වේ.
ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි සැකපිට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව මෙම නඩුව පැවරීමට නියමිතය.
එය විශේෂ නඩුකරයක් සේ සලකා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා සිය ලිපිය මඟින් අගවිනිසුරුවරියගෙන් ඉල්ලා තිබේ.
මෙම ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසකට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ද නඩුවක් පැවැත්වෙන අතර පොදු දේපොළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට පසුගියදා නියම කෙරිණි.