චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තියේ වර්ධනයක් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා “දිනමිණ”ට ඊයේ (21) පැවැසීය. මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවත් ඩෙංගු ව්‍යාප්තිය සිදු කරන ඊඩිස් මදුරුවා මඟින්ම චිකුන්ගුන්යා රෝගය ව්‍යාප්තිය සිදු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ඇතුළු නෑදෑ හිතවතුන්ගේ නිවෙස් වෙත යාමත් සමඟ තමා ජීවත් වන නිවස සහ අවට පරිසරය මදුරුවන්ගෙන් තොරව පවත්වා ගැනීමට අපොහොසත් වීම නිසා ඩෙංගු හා චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය සිදුව ඇතැයි ද හෙතෙම පැවැසීය. තමා ජීවත් වන අවට පරිසරය මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පවත්වාගෙන යන්නේ නම් මෙම රෝග ව්‍යාප්තිය අවම කර ගත හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. කිසියම් පුද්ගලයකුට දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් ඩෙංගු බවට සැක කර ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් බවත් උණ රෝගයේදී විවිධ අත්බෙහෙත් භාවිත කිරීම නිසා පුද්ගලයන්ගේ ජීවිත පවා අහිමි වීමේ අවදානමක් පවතින බවත් ඒ මහතා පැවසුවේය.