සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ බවට ලැබෙන තොරතුරු බැහැර කළ නොහැකි බව කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පැවසීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සිරිල් ගාමිණී පියතුමා මේ බව ඊයේ (20) සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා,
“පිල්ලෙයාන් පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධතාවක් තියෙනවා කියන එක පළවෙනියෙන්ම හෙළිදරවු වුණේ චැනල් ෆෝ නාළිකාව මීට වසරකට 2කට පෙර විකාශය කළ වාර්තා වැඩසටහනකින්.
එය ප්‍රකාශ කළේ අසාත් මවුලානා කියන පිල්ලයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම්. ඔහුත් එක්ක ඉතාම සමීපයෙන් කටයුතු කරපු කෙනෙක්. ඒ තැනැත්තා තමයි පිල්ලෙයාන්ගේ සම්බන්ධතාව පාස්කු දින ප්‍රහාරයට තියෙනවා කියලා හෙළිදරවු කළේ.
දැන් පිල්ලෙයාන්ව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නොවේ. මේ අත්අඩංගුවට ගැනීම සිදු කරලා තියෙන්නේ නැඟෙනහිර පළාතේ හිටපු උපකුලපතිවරයකු පැහැරගෙන ගිහිල්ලා අතුරුදන් කිරීම සම්බන්ධයෙන්. නමුත් පාස්කු දින ප්‍රහාරයට පිල්ලෙයාන්ගේ මේ සම්බන්ධතාව අපිට බැහැර කරන්නට බැහැ.
මේ අත්අඩංගුවට ගැනීම සහ පාස්කු දින ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්න කිරීම් කොයිතරම් දුරට සිදු වෙනව ද කියලා අපි දන්නේ නැහැ. ඒක දන්නේ සී.අයි.ඩී එක. පිල්ලෙයාන් මේකට සම්බන්ධයි කියන එක පිළිබඳව තොරතුරු ලැබිලත් තියෙනවා. ලැබෙමිනුත් පවතිනවා කියන එක අපි දන්නවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇති සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඉවර වුණාට පස්සේ හරි පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය වෙත යොමු වෙයි කියන විශ්වාසයක් අපිට තියෙනවා.
මේ සම්බන්ධතාව ඇත්තටම සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් වුණොත් අන්න එතකොට අපිට පිල්ලෙයාන්ට තිබිච්ච අවශ්‍යතාව මොකක් ද? මේ වගේ සංහාරයක් මේ වගේ ම්ලේච්ඡ ක්‍රියාවක් සිදු කරන්නට කියන එක සොයාගන්න පුළුවන් වෙනවා.
අයි.එස්.අයි.එස්. සංවිධානය මේක කළා කියලා මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කර තිබෙනවා. එහෙම තොරතුරු තියෙනවා නම් ඒ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්න ඕනෑ. ජනමාධ්‍ය ඉදිරියේ යම් යම් අය විවිධ ප්‍රකාශ කළාට ඒ පිළිබඳ විමර්ශන කරන්න බැහැ. විමර්ශනය කරන නිලධාරීන්ට ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඕනෑ. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද කියලා දන්නවා කියලා මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශයක් කළා. නමුත් ඒ කවුද කියලා හෙළි කළේ නැහැ.
ඔහු දන්නවා කියනවා නම් විමර්ශනය කරන අයට නිල වශයෙන් කිවුවා නම් හරි. එතකොට හොයා ගන්න පුළුවන් ඒ තොරතුරු ඇත්ත ද කියලා.
මා දන්නා තරමින් අපේ විමර්ශන කණ්ඩායම් හෝ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශනවලදි මේ වන තුරු හොයා ගෙන නැහැ මේ ප්‍රහාරයට විදේශ සම්බන්ධතාවක් තිබුණා කියලා.
ප්‍රධානම දේ තමයි සොනික් සොනික් කියලා කෙනෙක් ගැන කතා වෙනවා. මේ කියන කෙනා තමයි මාතලේ සහරාන් කියන පුද්ගලයාට බලකරන්නේ අයි.එස්. සංවිධානයට මේකේ වගකීම භාර ගන්න කියන්න කියලා. මාතලේ සහරාන් දුරකතන ඇමතුමක් ඒ අනුව ලබාදී තිබෙනවා.
අයි.එස්. සංවිධානය මේ ප්‍රහාරය කළා නම් ඒක භාර ගන්න කියලා බල කරන්න අවශ්‍ය නැහැ. සොනික් සොනික් කියන නමින් හිටපු කෙනා බුද්ධි අංශයත් එක්ක සම්බන්ධ කෙනෙක්.
බුද්ධි අංශයට සම්බන්ධ කෙනෙක් මොකට ද සහරාන්ට බලකරන්නේ අයි.එස්. සංවිධානයට මේකේ වගකීම භාර ගන්න කියලා. අයි.එස්. සංවිධානය කෙළින්ම වගකීම භාර ගන්නවනෙ. අපිට තේරෙන හැටියට විමර්ශන කෙරීගෙන යන නිසා ඒ විමර්ශන වෙන පැත්තකට හරවන්න කඩාකප්පල් කරන්න නොයෙක් අය නොයෙක් විදිහේ දේවල් ජනගත කරන්න උත්සාහ කරනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වාධීනව ඒ පරීක්ෂණය කරගෙන යන්න ඉඩ දුන්න නම් හරි.
කවුරුවත් කලබල වෙන්න ඕනේ නැහැ. පිල්ලෙයාන්ව අත්අඩංගුවට ගත්තහම කලබල වෙලා තියෙන ගම්මන්පිල මහත්තය හරි රනිල් වික්‍රමසිංහ හරි කලබල වෙලා තියෙන්නේ උප කුලපතිවරයාගේ මරණය ගැන සම්බන්ධයෙන් නෙමෙයි. කලබල වීම තියෙන්නේ පාස්කු දින ප්‍රහාරය පිළිබඳවත් පිල්ලෙයන්ගෙන් ප්‍රශ්න කරාවි කියන තැනයි. ඇයි මේ අය කලබල වෙන්නේ. කාවවත් සුද්ද කරන්න හරි ගලවගන්න හරි කලබල වෙන්න අවශ්‍ය නැහැ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරලා සාක්ෂි සහිතව තොරතුරු ඉදිරිපත් කරාවි. අපි කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වාධීනව මේ පරීක්ෂණ කරගෙන යන්න ඉඩ දෙන්න කියලයි.
අපි රජයටත් කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් කියන්නේ ඒක එක්කෙනා කියන දේවල්වලට කලබල වෙන්න ඕනේ නැහැ. ස්වාධීනව පරීක්ෂණය පවත්වා ගෙන යන්න. ජනාධිපතිතුමා කිවුවා ලබන විසි එක් වැනිදා මේ පිළිබඳ වැදගත් තොරතුරු එළියට එයි කියලා.
අපි බලාපොරොත්තු වෙන්නේ මේ විමර්ශනය ස්වාධීනව සාධාරණව හරියට පිළිවෙළට කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උදවු වෙන්න කියන එකයි.
දැන් විමර්ශන නැවත වතාවක් ආරම්භ කරලා තියෙනවා. ඒ අයට මේක වහල තියන්න අවශ්‍යතාවක් නැහැ කියන එක ඒකෙන් පේනවා. අන්න ඒ විශ්වාසය ආරක්ෂා කළ යුතුයි.
රජය පොරොන්දුවක් දුන්නා මේ විමර්ශන ඉදිරියට ගෙනියලා කෙළවරක් කරනවා කියලා. ඒ විශ්වාසය ආරක්ෂා කරන්න. දැනට අපිට රජය ගැන විශ්වාසයක් තියෙනවා, පරීක්ෂණ නැවත ආරම්භ වෙලා තියෙන නිසා.