ගොවීන්ට වගා සහනාධාරයක් යටිතල පහසුකම් සපයාගන්නත් පුළුවන්

ගොවීන්ට, පොහොර සහනාධාරය වෙනුවට වගා සහනාධාරයක් දීමට රජය සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය. මේ වගා සහනාධාරය යටතේ කුඹුරු බිම් හෙක්ටයාර 02ක් සඳහා රුපියල් 50,000ක මුදලක් හිමිවනු ඇත. රුපියල් 50,000ක මෙම වගා සහනාධාරය අදියර දෙකක් යටතේ ගොවීන්ට හිමිවන අතර, මුල් අදියර යටතේ ගොවීන්ට හිමිවන මුදල රුපියල් 35,000 කි. ඉතිරි රුපියල් 15,000ක මුදල දෙවැනි අදියර යටතේ හිමිවේ.

මෙම වගා සහනාධාරය පොහොර මිල දී ගැනීම, වී වගා කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සපයාගැනීම, අස්වනු නෙළීමේ කටයුතු ඇතුළු වගාව සඳහා අදාළ ඕනෑම කටයුත්තකට ගොවීන්ට යොදාගත හැකිවේ.

හෙක්ටයාරයක වගාබිමක් ඇති ගොවීන්ට රුපියල් 25,000ක වගා සහනාධාරයක් හිමිවන අතර, එහි දී මුල් අදියර යටතේ හිමිවන මුදල රුපියල් 15,000කි. ඉතිරි රුපියල් 10,000ක මුදල් දෙවැන අදියර යටතේ හිමිවනු ඇත.

මේ සම්බන්ධයෙන් ‘දිනමිණ‘ කළ විමසුමකදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා මෙසේ පැවසීය. මෙම සහනාධාරය, ගොවීන්ට වීවගාව මෙන්ම අතුරු භෝග වගාව සඳහා ද හිමි‍ෙවනවා. ගොවීන්ට අවශ්‍ය පොහොර පමණක් නොවේ. වගාවන් සඳහා විවිධ කටයුතුවලට ඔවුන්ට මුදල් අවශ්‍ය ‍ෙවනවා. කුඹුරු සකස් කිරීම, නියර බැඳීම, වී වැපිරීම, අස්වනු නෙළීම මේ ආදී කටයුතු රාශියක් සඳහාත් ඒ සඳහා යොදා ගන්නා මිනිස් ශ්‍රමය සහ යන්ත්‍ර සූත්‍ර සඳහාත් ගොවීන්ට මුදල් අවශ්‍යයි. පොහොර සහනාධාරයක් ගොවි ගිණුමට බැර කළ විට එය යොදා ගන්නට පුළුවන් පොහොර මිල දී ගැනීමට පමණයි. නමුත් වගා සහනාධාරයක් වගාවේ ඕනෑම කටයුත්තක් සඳහා යොදාගත හැකියි. මෙතෙක් මෙම සහනාධාරය ගොවීන්ට දුන්නේ වී වගාව සඳහා පමණයි. මෙවර යල කන්නයේ කන්න රැස්වීමේදී තීරණය වුණා වී වගාව පමණක් නොව කුඹුරුවල වගා කරන අතුරු භෝග සඳහා ද මෙම වගා සහනාධාරය ලබාදීමට. ඇතැම්විට කන්නයකදී නියමිත කාලයට වැසි නොලැබීම ඇතුළු ස්වාභාවික සිදුවීමක් හේතුවෙන් එම කන්නයේ වී වගා කිරීමට ගොවීන්ට නොහැකි වූයේ නම් ඒ අයට අතුරු භෝග වගා කිරීම සඳහා මෙම වගා සහනාධාරය හිමිවීම විශේෂත්වයක්. මෙම වගා සහනාධාරය යල කන්නයේ සිටම දීමට සැලසුම් කර තිබෙනවා’යැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.