මන්නාරම සහ රාමේෂ්වරම් අතර විශාල බෝට්ටු සේවයක් තිබුණා. යළි රාමේෂ්වරම්වලට බෝට්ටු සේවාව ආරම්භ කිරීමට අප ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර තිබෙනවා
දකුණේ ජනතාව සිංහල පක්ෂ තෝරා ගන්නවා. හැබැයි පසුගිය මහ ඡන්දයේදී උතුර, දකුණ, නැඟෙනහිර සිටින සිංහල, දමිළ, මුස්ලිම් සියලු දෙනා තෝරා ගත්තේ ජාතික ජන බලවේගයයි
ජනතාවට පහසුකම් සැලසීම ආණ්ඩුවක වගකීමයි. ජනතාව පීඩාවට පත්කරන ආණ්ඩු වැඩක් නැහැ. මේ රටේ ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් මේ වනවිට පවතිනවා
දෙමළ භාෂාව කතා කරන ඔබේ දරුවන් පොලිස් සේවයට බඳවන්න. ඒක හොඳ ගෞරවාන්විත රැකියාවක්. අපේ රටේ නීතිය, සාමය රකින්න තියෙන රැකියාවක්. අපි හොඳ වැටුප් තලයකුත් ලබාදෙනවා

ජාතිවාදී ආණ්ඩු වෙනුවට ඉතිහාසයේ පළමු වතාවට ජාතික සමගියේ ආණ්ඩුවක් ගොඩනැඟී ඇතැයි ජනපති අනුර කුමාර දිසානායක මහතා මන්නාරමේදී ඊයේ (17) පැවසීය.
ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ මන්නාරමේ පැවති “ජය නියතයි – ගම අපිටයි” ජන රැළියට ඊයේ (17) පෙරවරුවේ සහභාගි වෙමිනි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය මෙය සංවිධානය කර තිබිණ. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මන්නාරම් දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරගවදින ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ. මෙහිදී ජනාධිපතිවරයාට දමිළ ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා :
“තවදුරටත් ශ්‍රී ලංකාවේ ජාතිවාදයට ඉඩ නැහැ. ලොකු, පොඩි කියා ජන කණ්ඩායම් නැහැ.
ඉතිහාසයේ පළමු වතාවට ජාතික සමගියේ ආණ්ඩුවක් ගොඩනැඟී තිබෙනවා. ජනතා අදහස් අනුව මන්නාරම හා පුත්තලම යා කරන නව මාර්ගයක් සාදනවා. එමෙන්ම සුළං බලයෙන් විදුලි උත්පාදනයට මන්නාරම සතු විභවතාවය ප්‍රයෝජනයට ගැනීම ජනතා අදහස් අනුව සිදු කරනවා. උතුරේ අක්කර 16000ක පොල් වගා කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙයට පෙර අවස්ථා ගණනාවකදී අප මන්නාරමට පැමිණියා. මන්නාරමේ අප පවත්වන විශාලම රැළිය අද පවත්වනවා. මන්නාරම ඇතුළු වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීම සඳහා විශාල සහයක් ලබා දුන්නා. මේ ප්‍රදේශයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙක්
පාර්ලිමේන්තුවට තෝරා පත්කළා. ඒ වගේම වන්නි දිස්ත්‍රික්කයට අපේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ද සිටිනවා. මෙම වන්නි දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනෙක් නියෝජනය කරනවා. ජාතික ජන බලවේගයට පසුගිය මැතිවරණ ජයග්‍රහණ ලබාදීමට මෙම මන්නාරමේ ජනතාව විශාල වෙහෙසක් දැරුවා. මෙරට පළමු වතාවට මැතිවරණයකදී බෙදුණු දේශපාලනය අවසන් කළා. ඉස්සර ඡන්ද කියන්නේ ජනතාව බෙදීමයි. උතුරේ ජනතාව දෙමළ පක්ෂ තෝරා ගන්නවා, නැඟෙනහිර ජනතාව මුස්ලිම් පක්ෂ තෝරා ගන්නවා, දකුණේ ජනතාව සිංහල පක්ෂ තෝරා ගන්නවා. හැබැයි පසුගිය මහ ඡන්දයේදී උතුර, දකුණ, නැඟෙනහිර සිටින සිංහල, දමිළ, මුස්ලිම් සියලු දෙනා තෝරා ගත්තේ ජාතික ජන බලවේගයයි. එම ඡන්දෙන් අප සියලු දෙනා එකතු වුණා. ආයෙ කවදාවත් අප බෙදෙන්නේ නැතිව දේශපාලනය කරමු. අප ඔක්කොට එකට ජීවත්වන රටක් අපට අවශ්‍යයි. අපට අවශ්‍යයි සමගියෙන් පිරුණ රටක්. අප හැමදෙනාම ජාතිවාදයෙන් විශාල ලෙස බැට කාපු මිනිස්සු. ජාතිවාදය නිසා එකිනෙකා අතර සැකය ඇතිවුණා, ගැටුම් ඇතිවුණා, යුද්ධ ඇතිවුණා. ඇති තරමට අප ජාතිවාදයෙන් බැට කෑවා. අප තවදුරටත් අපේ රටේ ජාතිවාදයට ඉඩ දෙන්නේ නැතිව ජාතික සමගිය ආරක්ෂා කර ගන්න, ජාතික සමගිය වෙනුවෙන් අලුත් ආණ්ඩුවක් හදලා තියෙනවා. මේක තමයි සමගියේ ආණ්ඩුව. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා සහෝදරත්වයෙන් සලකන ආණ්ඩුව. සියලු ජනතාවගේ අයිතිවාසිකම් පිළිගන්නා ආණ්ඩුව. අප එකට ජීවත්වෙන්න ඕනේ කියා අපේක්ෂා කරන ආණ්ඩුව. මීට පෙර එවැනි ආණ්ඩු හැදුණා ද? පැවතියේ මොන වාගේ ආණ්ඩු ද? ජාතිවාදී ආණ්ඩු තමයි තිබ්බේ. දැන් තිබෙන්නෙ ජාතික සමගියේ ආණ්ඩුවක්.
අප පියවරෙන් පියවර මේ රට හැදීමට අවශ්‍ය සැලසුම් හදා තිබෙනවා. පළමුකොටම අප දන්නවා ජාතික සමගිය නිර්මාණය කරන්න, ව්‍යවස්ථාවේ අයිතිවාසිකම්, නීති අණපනත්වල අයිතිවාසිකම්, භාෂාවේ අයිතිවාසිකම්, ආගම් ඇදහීමේ අයිතිවාසිකම්, ඒ ඒ සංස්කෘතීන් පිළිගැනීමේ අයිතිවාසිකම් අප තහවුරු කරනවා. මේ රටේ තවදුරටත් ලොකු, පොඩි කියා ජන කණ්ඩායම් නැහැ. ඉන්නේ එකම ජන කණ්ඩායමයි. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, උතුරේ වේවා, දකුණේ වේවා, නැඟෙනහිර වේවා ජීවත්වන්නේ ශ්‍රී ලාංකේය ජනතාව බව අප මතක් කරන්න කැමැතියි. ඒ සඳහා අවශ්‍ය කරන නීති ප්‍රතිසංස්කරණ අප ඇති කරනවා. ජනතාව බෙදුණු යුගය අප අවසන් කරනවා. ඒ විතරක් නොවේ, අප දන්නවා උතුරේ පැවති යුද්ධය හේතුකොටගෙන ජනතාවගේ ඉඩම් ආණ්ඩුවට පවරා ගන්න සිදුවෙලා තිබෙනවා. සමහර පාරවල් වසා දැමීමට සිදුවුණා. සමහර පෞද්ගලික ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගැසට් කරන්න සිදුවෙලා තිබෙනවා. අප ඒ ගැටලු සියල්ල විසඳා ජනතාවට නිදහසේ තම වැඩ කටයුතු කරගෙන යෑමට, තමන්ට අයිති ඉඩම්වල පදිංචි වෙන්න, ඒවායේ වගා කරන්න අවශ්‍ය පහසුකම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් හදනවා.
අපේ රට සංවර්ධනය කිරීමේදී මෙම මන්නාරම් ප්‍රදේශය ඉතා වැදගත් බව අප දන්නවා. අපේ මුහුදු තීරයේ ඉතාමත් වටිනා සම්පත් තිබෙනවා. මෙම ප්‍රදේශයේ ජනතාව විශාල ප්‍රමාණයක් මුහුදු රැකියාවෙන් ජීවත් වෙනවා. එහා පැත්තේ පේසාලේ මාළු සම්පත නෙළන්නේ කවුද? නීති විරෝධී මසුන් ඇල්ලීමේ බෝට්ටු හරහා විශාල විනාශයක් අපේ මුහුදට සිදු කරමින් තිබෙනවා. ඉන්දීය අගමැතිවරයා සමඟ මේ පිළිබඳව අප දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අපේ මුහුදු තීරය, මත්ස්‍ය සම්පත අයිති මේ රටේ ජනතාවට. එම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා අප උත්සාහ කරනවා. මුහුදේ සිදුවන සියලුම නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව කටයුතු කරන්න කියා අප නාවික හමුදාවට උපදෙස් ලබා දී තිබෙනවා . අපගේ මුහුදු තීරය ආරක්ෂා කර ගැනීම අපගේ හමුදාවන්ගේ වගකීමක්. එය අප ඉටුකරනවා. කෘෂිකර්මාන්තය සඳහා මෙම ජනතාවගේ ඉඩම් ගැටලු ටික විසඳා දෙන්නම්. පොහොර සහනාධාරය ලබා දෙන්නම්. වී ගබඩා ප්‍රතිසංස්කරණය කර වී ටික මිලදී ගන්නම්. ඔබ වැඩ කරන්න සූදානම් වෙන්න. ඒ සඳහා අවශ්‍ය සහාය අප ලබා දෙන්නම්. මේ රට අප හරියට හදන්න ඕනේ.
මෙම මන්නාරම සහ රාමේෂ්වරම් අතර විශාල බෝට්ටු සේවයක් තිබුණා. යළි රාමේෂ්වරම්වලට බෝට්ටු සේවාව ආරම්භ කිරීමට අප ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර තිබෙනවා. දැනටත් සාකච්ඡා සිදු කරනවා. ඒ වගේම අප දන්නවා මෙම මන්නාරම සුළංවලින් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් තැනක්. හැබැයි පසුගිය කාලයේ ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී පරිසර විනාශයන් සිදුවන ආකාරයට එම ව්‍යාපෘතිවලට එකඟතාව පළකර තිබෙනවා. දැනට අප ඒ සියල්ල තාවකාලිකව නතර කර තිබෙනවා. නමුත් මේ සුළං සම්පතෙන් ප්‍රයෝජන ගන්න, ජනතාවගේ අදහස් විමසමින් පාරිසරික හානිය අවම වන පරිදි ජනතාවගේ ජීවිතවලට හානියක් නොවන ආකාරයට වැඩ කරන්න අප සූදානම්. ඒකට තමයි ආණ්ඩුවක් කියන්නේ. මෙම ජනතාව තමයි මෙම පළාත්වල හිමිකාරයෝ. මෙම පළාත්වල ජීවත්වෙන්නේ ඔබයි. මෙම පළාත්වල ගැටලු දන්නෙ මෙම ජනතාව. ඒ නිසා පරිසර හානියක් සිදු කරන විනාශකාරී කුමන ව්‍යාපෘතියකටවත් අප ඉඩ දෙන්නෙ නැහැ.
ජනතාවගේ එකඟතාවයෙන්, අවම පරිසර හානියෙන් සෑම ව්‍යාපෘතියක්ම සිදු කරන්න තමයි අප බලාපොරොත්තු වන්නේ. තමුන්නාන්සේලා දන්නවා මෙම මන්නාරම සහ පුත්තලම යා කරන පාර දීර්ඝ කාලයක් තිස්සේ වසා තිබෙනවා. ඒ පාර විවෘත වුණොත් පුත්තලමට යන්න කිලෝමීටර් අනූවක් විතර අඩු වෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් පාරිසරික ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. අප ඒ පිළිබඳව සාකච්ඡා කර දැනට ඉදිකෙරමින් තිබෙන පාරට විකල්ප යෝජනාවන් සහිතව නව ආකාරයට පුත්තලම සහ මන්නාරම යා කරන්න අප බලාපොරොත්තු වෙනවා.
ජනතාවට පහසුකම් සැලසීම ආණ්ඩුවක වගකීමයි. ජනතාව පීඩාවට පත්කරන ආණ්ඩු වැඩක් නැහැ. මේ රටේ ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් මේ වනවිට පවතිනවා. අද තියෙන්නෙ ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක්. මීට අවුරුදු දෙකකට, දෙකහමාරකට කලින් අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැට්ටුවා. ඒ ආණ්ඩුවල සිටි ඇමැතිවරුන් මෙම මන්නාරමේ සිටියා. රාජ්‍ය ඇමැතිවරුන් සිටියා. එදා සිටි ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමැතිවරු, මන්ත්‍රීවරු ඔක්කොම එකතු වී අපේ රට කඩා වැට්ටුවා. තෙල් ආනයනය කරන්න බැරි රටක්, බෙහෙත් ගේන්න බැරි රටක් පැවතියා ඔබට මතක ද? එම තත්ත්වයෙන් මේ රටේ ජනතාව විශාල ලෙස පීඩාවට පත්වුණා. හැබැයි එම ගැටලු නිර්මාණය කළ අය පීඩාවට පත්වුණේ නැහැ. එම පැවති පීඩාකාරී තත්ත්වයන්ට එරෙහිව තමයි ජනතාව මෙම ආණ්ඩුව හැදුවේ.
අප ක්‍රමානුකූලව යළි අපේ රටේ ආර්ථිකය යළි ස්ථාවර කර තිබෙනවා. අවුරුදු 5 – 6 කට පස්සෙ ලොකුම ඩොලර් සංචිතය අද අපේ රටේ තිබෙනවා. මාස හයක් තිස්සේ රුපියල සෙලවෙන්නේ නැතිව පවතිනවා. අප තෙල් මිල අඩු කළා. විදුලි බිල අඩු කළා. අප මේ වනවිට ජනතා ගැටලු විසඳීමට කටයුතු කරනවා. රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කළා. අස්වැසුම දීමනාව වැඩි කළා. ඒ විතරක් නොවේ අලුතින් අස්වැසුම ජූනි මාසයේ පවුල් ලක්ෂ හතරකට ලබා දෙනවා. අප මේ රටේ ජනතාව බලාගන්න ඕනෙ. පාසල් දරුවන්ට නිල ඇඳුම් දෙනවා. දරුවන් කොටසකට සපත්තු මිලදී ගන්න මුදල් දෙනවා. ළමුන් ලක්ෂ දාසයකට පාසල් පොත් හා උපකරණ මිලදී ගන්න රුපියල් හයදාහක් ලබා දුන්නා. ඒ විතරක් නොවේ අප අලුතින් අවුරුදු පහ හයකට පස්සෙ තිස්දාහක් රැකියා සඳහා බඳවා ගන්නවා. ඒ සඳහා මන්ත්‍රී, ඇමැති පස්සෙ යන්න ඕනෙ නැහැ. පත්තරේ දැන්වීම දානවා. ඒ සඳහා අයදුම්පත් යොමු කරන්න. විභාගයට වාඩි වෙන්න. වැඩිම ලකුණු ගන්න අයට රැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවයේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තිබෙනවා. පොලීසියේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තිබෙනවා. ඒ නිසා දෙමළ භාෂාව කතා කරන අය පොලීසියට අවශ්‍යයි. අප මේ අවුරුද්දේ පොලීසියට අලුතින් 2000ක් බඳවා ගන්නවා. දෙමළ භාෂාව කතා කරන ඔබේ දරුවන් පොලිස් සේවයට බඳවන්න. ඒක හොඳ ගෞරවාන්විත රැකියාවක්. අපේ රටේ නීතිය, සාමය රකින්න තියෙන රැකියාවක්. අප හොඳ වැටුප් තලයකුත් ලබාදෙනවා. තව පහසුකම් ලබාදෙනවා. දෙමළ භාෂාව කතා කරන අය රාජ්‍ය සේවයට බැඳෙන්න කියා මම ඉල්ලා සිටිනවා. මේ රට අප එකතුවෙලා හදන්න ඕනෙ. ඒ වගේම රටේ නීතිය කාටත් සමාන ලෙස ක්‍රියාත්මක වෙන්න ඹ්නේ. ලංකාවේ පළමු වතාවට නීතිය කාටත් සමානව ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් හැදිලා තිබෙනවා. ඉස්සර නීතිය ක්‍රියාත්මක වුණේ කොහොමද? ධනය, බලය තිබෙන අයට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.
දුප්පත්, දුබල අයට නීතිය ක්‍රියාත්මක වෙනවා. අද කිසිදු භේදයකින් තොරව කාටත් සමානව නීතිය ක්‍රියාත්මක වන රටක් අප හදලා තිබෙනවා. ඒ නිසා පොලිස්පති පොලීසියට බයේ හැංගුණා. හොඳ නැද්ද එහෙම රටක්. මං දැක්කා අල්ලස් කොමිසම හිටපු ජනාධිපතිට සිතාසි යවා තිබෙනවා. මේ රටේ නීතිය කාටත් සමානයි. මහ ඇමැතිවරුන් ඇතුළු කිහිප දෙනෙක් දැන් රිමාන්ඩ් භාරයේ. හිටපු ජනාධිපතිවරුන්ගේ පුතාලට විරුද්ධව මේ වනවිටත් මහාධිකරණයේ නඩු දාලා තියෙන්නෙ. නීතිය කාටත් සමාන රටක් ජාතික ජන බලවේගය ආණ්ඩුව හදා තිබෙනවා.
ඒ විතරක් නොවේ. අපේ කැබිනට් මණ්ඩලය, අපේ මන්ත්‍රීවරු කිසි කෙනෙක් මහජනයාගේ රුපියලක් සොරකම් කරන්නෙ නැහැ. රුපියලක් නාස්ති කරන්නෙ නැහැ. ලංකාවේ පළමු වතාවට සොරකම් කරන්නෙ නැති ආණ්ඩුවක් හදා තිබෙනවා. මහජනයාගේ ධනය නාස්ති කරන්නේ නැති ආණ්ඩුවක් හදලා තිබෙනවා. පෙර සිටි අය ජනාධිපති වූ දවසේ සිට, ඇමැති වූ දවසේ සිට සොරකම් කරන්න තමයි ප්ලෑන් ගහන්නේ. වත්මන් ආණ්ඩුව රට හදන්නයි ප්ලෑන් ගහන්නේ. එහෙම ආණ්ඩුවක් ඕනේ නැද්ද? මේ ආණ්ඩුව සියලු දෙනා ආරක්ෂා කරන්න ඕනෙ. මෙම ආණ්ඩුවට තව ශක්තිය දෙන්න ඕනෙ.
මෙම ආණ්ඩුව සොරකම් කළ අයට දඬුවම් ලබාදෙනවා. උතුරුමැද පළාතේ මහ ඇමැති, වංචාව ලක්ෂ 26යි. දඬුවම අවුරුදු 16යි. වංචා සම්බන්ධ සියලු පරීක්ෂණ කරනවා. දඬුවම් ලබාදෙනවා. සිදුවූ අපරාධ ගැන සොයනවා. මිනිස් ඝාතන, පාස්කු ප්‍රහාර සියල්ල සොයනවා. අපේ රටේ ජනතාව නීතියට අනුගත වෙනවා. නීතියට බයයි. හැබැයි අපේ රටේ පාලකයා සිටියේ නීතියට උඩින්. ඔහු නීතිය පාගනවා. එහෙම රටකට ඉස්සරහට යන්න බැහැ. එදා සිටි ඇමැතිවරුන් වරායෙන් පන්නලා ලියාපදිංචි කරන්නෙ නැතිව ලොකු වාහන පාරේ ගෙනයනවා. නීතිය ඔවුන්ට නැහැ. කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. තව ගන්න නියමිතයි. හැබැයි සාමාන්‍ය ජනතාවට එහෙම ක්‍රියා කරන්න බැහැ. අප විසින් දැන් මේ තත්ත්වය නැති කර කාටත් නීතිය සමානව ක්‍රියාත්මන වන රටක් සාදා තිබෙනවා. දියුණු හැම රටකම නීතිය කාටත් සමානයි.
ඉදිරියේදී නගර සභා, ප්‍රදේශීය සභා ඡන්දය තිබෙනවා. මුසලි ප්‍රාදේශීය සභාවට පොඩි ආදායමක් තියෙන්නේ. මන්නාම නගර සභාවට පොඩි ආදායමක් තිබෙන්නේ. හැබැයි වැඩ ගොඩක් කරන්න තිබෙනවා. දැන් අපේ ආණ්ඩුවට සල්ලි තිබෙනවා. මම මේ අවුරුද්දේ උතුරු පළාතේ පාරවල් හදන්න දසලක්ෂ පන්දහසක් වෙන්කර තිබෙනවා. ඒ විතරක් නොවේ තව විශාල මුදලක් උතුරේ පොල් වගාව සඳහා වෙන් කර තිබෙනවා. ඔබේ ඉඩමේ පොල් වගා කරන්න සූදානම් නම් පැළ ටික දෙනවා. බිම සකස් කර ගන්න සල්ලි ටික දෙනවා.
පොහොර දාන්න සල්ලි දෙනවා. මේ අවුරුද්දේ උතුරේ අක්කර 16000ක පොල් වගා කරන්න මුදල් වෙන්කර තිබෙනවා. ප්‍රාදේශීය සභාවලට, නගර සභාවලට සල්ලි මදි නම් මහ ආණ්ඩුවෙන් සල්ලි දෙන්නම්. හැබැයි සල්ලි වෙන් කරන්න කලින් යෝජනා එවන්නෙ කවුද කියා බලනවා. මන්නාරම් මහ නගර සභාව ජාතික ජන බලවේගයේ කණ්ඩායම අතේනම් තියෙන්නෙ මහ ආණ්ඩුවට එවන යෝජනාව ඇස් පියාගෙන අනුමත කරනවා. හැබැයි වෙන අය අතේ නම් තියෙන්නෙ එම යෝජනාව දහ සැරේකට වඩා බලනවා. ඇයි ඒ. ඔවුන් අපට විශ්වාස නැහැ.
එම මුදල් ඔවුන් සාක්කුවට දාගත හැකියි. අතීතයේ එහෙම වුණේ නැද්ද? ඒ නිසා මේ රටේ නගර සභා, ප්‍රාදේශීය සභා ටික ජාතික ජන බලවේගයට දිය යුතුයි. ඒ නිසා මැයි 06 දින හොඳ බලයක්, ශක්තිමත් ජන වරමක් ජාතික ජන බලවේගයට ලබා දෙන්න. මහ ඡන්දයේදී අපට ලැබුණ ඡන්දයට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් මැයි 06 දින ලැබෙනවා.”