තැපැල් ඡන්දයේ දින සංශෝධනය කෙරේ

පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට තිබූ දින සංශෝධනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත. ඒ අනුව අප්‍රේල් 24, 25, 28, සහ 29 දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙන බව එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය. විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (17) ඒ මහතා පැවසුවේ කිසිදු වෙනස්කමක් නැතුව සියලුම රාජ්‍ය ආයතන සහ අනෙකුත් සියලුම ආයතනවල තැපැල් ඡන්දදායකයන්ට මේ දින හතර තුළදී තමන්ගේ කාර්යාලයේදී අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීමට අවස්ථාව ලැබෙන බවයි.

පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා එළැඹෙන අප්‍රියෙල් 21 වැනිදා වන විට නිකුත් කොට අවසන් කරන බව ද හෙතෙම කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“අප්‍රියෙල් මස 7 වැනිදා පළාත් පාලන ආයතනය 113ක් සඳහා ඡන්ද පත්‍රිකා 1,87,345ක් නිකුත් කර තිබෙනවා.

අප්‍රේල් 10 දා පළාත් පාලන ආයතන 105ක් සඳහා 3,11,904ක් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත්කර තිබෙනවා. අප්‍රේල් මස15 වැනිදා පළාත් පාලන ආයතන 9 සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා 16,688ක් නිකුත් කොට අවසන්.

ඉතිරි පළාත් පාලන ආයතන 112 සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා 2,32,558ක් සඳහා අප්‍රේල් මස 21 වැනිදා නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 339 සඳහා සියලුම තැපැල් ඡන්ද පත්‍රිකා 21 වැනිදා වන විට නිකුත් කොට අවසන් වෙනවා.

තැපැල් ඡන්ද ලකුණු කිරීම සම්බන්ධයෙන් මීට පෙර නියම කර තිබූ දිනවල සුළු සංශෝධනයක් සිදු කොට තිබෙනවා. ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සියලුම සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළුව සියලුම ආයතන සඳහා තැපැල් ඡන්දය ලකුණු කිරීම අප්‍රේල් මාසයේ 24, 25, 28, 29 යන දින 4සිදු කිරීමට නියමිතයි.

ඒ වගේම, මහනුවර දළදා දැක්ම සඳහා විශේෂ රාජකාරිවල යෙදී සිටින ශ්‍රී ලංකා පොලීසියේ සියලුම නිලධාරින්ට මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටවනු ලබනවා.

ඒ සඳහා යොදවන ත්‍රිවිධ හමුදා නිලධාරින් සඳහා ඒ ඒ හමුදා කඳවුරුවලදී අදාළ අණදෙන නිලධාරින් විසින් නියම කරනු ලබන සහතික කරන නිලධාරියෙක් ඉදිරියේ මේ දින හතර තුළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා.

ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 339 සඳහාම සියලුම ඡන්ද හිමියන් වෙත බෙදාහැරීමට නියමිත නිල ඡන්ද පත් 16දා වනවිට අදාළ තේරීම් භාර නිලධාරින් විසින් තැපැල් දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

නිල ඡන්ද පත්‍රිකා බෙදීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. අප්‍රේල් මාසේ 29 වැනිදා දක්වා එම නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ කටයුතු සිදු කරනවා. 29 වැනි දිනයෙන් පසුව ඡන්ද පත්‍රිකා ලැබී නැති අය තමන්ගේ ගෘහය පිහිටි ස්ථානයට අදාළ තැපැල් කාර්යාලයෙන් ඒ පිළිබඳ විමසීමේ හැකියාව තිබෙනවා.

රන්මලී සෝමසිරි, සුභාෂිණී සේනානායක