18 පස්වරු 3.00ට ආරම්භ කර පස්වරු 5.30ට අවසන්
ජංගම දුරකතන ක්‍රියාවිරහිත කර මාලිගා පරිශ්‍රයට ඇතුළු වෙන්න
කටුගස්තොට සහ කඩුගන්නාවේ සිට මහනුවර දක්වා සෑම විනාඩි 45කට වරක්ම දුම්රියක්
ආරක්ෂාවට පොලීසියේ 10,000ක් සහ ත්‍රිවිධ හමුදාව
දළදා මාලිගාවෙන් දන්සල් දෙකක් සහ තවත් දන්සල් රැසක්
රථවාහන සැලැස්මක් හා විශේෂ බස් සේවා

දහසය වසරකට පසු ශ්‍රී දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව හෙට (18) සිට දෙස් – විදෙස් ජනතාවට හිමිවෙයි.
ජනපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගෙන් හා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව දළදා වන්දනාව සඳහා අනුමැතිය හිමිවිය.
ඒ අනුව හෙට (18) සිට පුරා දින 10ක් ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව දෙස් – විදෙස් ජනතාවට හිමිවන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
දළදා වන්දනාව හෙට (18) දිනයේ දී පස්වරු 3.00ට ආරම්භ කර පස්වරු 5.30 ට අවසන් කරන බවත් අනතුරුව 19 වැනිදා සිට 27 දින දක්වා සෑම දිනකම දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා දළදා වන්දනාව සඳහා බැතිමතුන්ට අවස්ථාව හිමිවන බවත් ඒ මහතා කීය.
මහනුවර වැව රවුමේ රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත ඔස්සේ එක් පෝලිමක් ද අවන්හල දෙසින් උල්පැන්ගේ ඉදිරිපිටින් තවත් පෝලිමක් ද ලෙස වැව රවුම ඔස්සේ පෝලිම් දෙකකින් බැතිමතුන් මහ මළුව වෙත රැගෙන ඒමට නියමිතය.
ඊට අමතරව ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ඇති පෝලිමේ පැමිණෙන බැතිමතුන්, පත්තිනි දේවාලය ඉදිරිපිට වතුර මල අසලින් මහ මළුවට ඇතුළු කිරීමට නියමිතය.
අවසන් වරට 2009 දී පැවති දළදා වන්දනාව සඳහා ලක්ෂ 15ක පමණ ජනතාව මහනුවරට පැමිණ තිබෙන බැවින් මෙවර රටේ පවතින සාමකාමී වාතාවරණය අනුව මිලියන 02කට අධික පිරිසක් මහනුවරට පැමිණෙනු ඇතැයි පොලීසිය අනුමාන කරයි.
දළදා වන්දනා සමයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 10,000ක් සමඟ ත්‍රිවිධ හමුදාව යෙදවීමට සැලසුම් කර තිබේ.
මෙවර දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ අවසර පත්‍ර නිකුත් නොකරන බවත් සියලු දෙනා පෝලිම් තුන ඔස්සේ පැමිණ දළදා වහන්සේ දැක වැඳ පුදා ගතයුතු බවත් අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
ශ්‍රී දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීම සඳහා 16 වසරකට පසු දෙස් – විදෙස් ජනතාවට අවස්ථාව ලැබෙන අසිරිමත් අවස්ථාව ගෞරවනීය ආකාරයෙන් එකම තේමාවක් යටතේ සංවිධානය කිරීමේ අරමුණින් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම ප්‍රමුඛ විංසත්වර්ගික කාරක සංඝ සභාවේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ පූර්ණ අනුදැනුම මත විශේෂ තේමා පාඨයක් සහ නිල ලාංඡනයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව මෙම උතුම් පුණ්‍යකර්මය සිරි දළදා වන්දනාව ලෙසින් හැඳින්වීමට තීරණය කර ඇත.
දළදා වන්දනා සමයේ දී මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකය. ඒ අනුව පේරාදෙණිය, කටුගස්තොට, තැන්නේකුඹුර ආදී ප්‍රදේශවල සිට නගරයට වාහන ඇතුළු කිරීම සීමා කෙරෙයි. එම ස්ථානවල රථ ගාල්කිරීමේ පහසුකම් ස්ථාපිත කර තිබෙන බවත් එතැන් සිට විශේෂ බස් සේවා මඟින් බැතිමතුන් නගරයට රැගෙන එන බවත් පොලිස් අධිකාරි ඩී.සී.ඩී. ඉලංගකෝන් මහතා කීය.
දෛනිකව ලක්ෂ 02ක පමණ පිරිසක් දළදා වන්දනාව සඳහා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් හැකි තරම් අවම භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන එන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පැවසුවේය.
දළදා වහන්සේ ඡායාරූප හෝ වීඩියෝගත කිරීමට කිසිදු ආකාරයකින් අවසර නොලැබෙන බැවින් දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු වන අවස්ථාවේදීම ජංගම දුරකතන ක්‍රියාවිරහිත කිරීමට පියවර ගන්නා බවත් පෝලිම් ඔස්සේ පැමිණෙන ජනතාව අවස්ථා දෙකක දී පරීක්ෂාවට ලක් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඉලංගකෝන් මහතා ප්‍රකාශ කළේය.
දළදා වන්දනාව සඳහා පැමිණ නගරයේ රැය පහන් කරන ජනතාව වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව මඟින් විශේෂ දන්සල් දෙකක් ක්‍රියාත්මක කරන අතර එමඟින් දෛනිකව 30000කට ආහාර ලබා දීමට සැලසුම් කර තිබේ. මෙයට අමතරව දළදා මාලිගා පරිශ්‍රයෙන් පිටත දන්සල් ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලයන් හා සංවිධාන 200කට ආසන්න සංඛ්‍යාවක් මහනුවර මහ නගර සභාවෙන් ඉල්ලීම් කර තිබෙන බව නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය කීවාය.
දන්සල් ලබාදෙන පුද්ගලයන්ට හා සංවිධානවලට නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් ඔස්සේ ලියාපදිංචි වීම සඳහා කේතයක් හඳුන්වා දී තිබෙන බවත් දළදා වන්දනා සමයේ දන්සල් ලබාදීමට අවසර ලබා දෙන්නේ අදාළ ලියාපදිංචිය ලබා ගන්නා අයට පමණක් බවත් මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පසන් ජයසිංහ මහතා කීය.
මේ වනවිට බෞද්ධ ජනතාවට අමතරව කතෝලික, ඉස්ලාම් හා හින්දු බැතිමතුන් ද දන්සල් ලබාදීමට අනුමැතිය ඉල්ලා ඇතැයි ඒ මහතා පැවසුවේය.
දළදා වන්දනාව සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකය. කටුගස්තොට සහ කඩුගන්නාවේ සිට මහනුවර දක්වා සෑම විනාඩි 45කට වරක්ම දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙන බවත් නගරයට පැමිණෙන ජනතාව හැකි තරම් එම දුම්රිය සේවා ප්‍රයෝජනයට ගන්නේ නම් තදබදය බොහෝදුරට අවම කරගත හැකි බව පොලීසිය පවසයි. මෙම කාලසීමාවේ දී මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ආපදා සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇටම්පාවල මහතා පවසයි.