යහපත් රටක් හදන්න ගමේ බලයත් මාලිමාවටම දෙන්න-අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍ය සේවයක් ජනතාවට දෙන එක අපේ වගකීමක් “ජය නියතයි-ගම අපටයි” කන්තලේ ජන රැලියේදී ජනපති කියයි

පතෝල මැස්ස වගේ බස්  වෙනුවට පහසුකම් ඇති ප්‍රවාහන පද්ධතියක්

සෑම දෙනාම නීතියට යටත් රටක් හදනවා

එන ජනවාරියේ සිට 6 සහ, 1 පන්තිවලට නව විෂය නිර්දේශයක්

ලියාපදිංචි නොකළ වාහන භාවිත කළ අය ඇතුළට

අතරමඟ නතරවුණු ජපන්-චීන ව්‍යාපෘති යළි අරඹනවා

ඉතා හොඳ අධ්‍යාපන, සෞඛ්‍ය හා ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබාදීම වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා (12) කන්තලේ පැවැති Òජය නියතයි – ගම අපටයිÓ ජන රැලිය අමතමිනි. පතෝල මැස්ස වගේ තිබෙන බස් රථ වෙනුවට පහසුකම් සහිතව ගමන් කිරීමට හොඳ ප්‍රවාහන පද්ධතියක් ජනතාවට ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය. සෑම දෙනාම නීතියට යටත් රටක් නිර්මාණය කරන බවද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ලියාපදිංචි නොකළ වාහන භාවිතා කළ අය ඇතුළට ගන්නා බවත් ඉදිරියේදී තවත් පෝලිමක් ඇති බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

මැයි 06 තිබෙන පළාත් පාලන මැතිවරණයේදී කන්තලේ ප්‍රාදේශීය සභාව ඇතුළු මේ දිස්ත්‍රික්කයේ තිබෙන සියලු සභා අප ජයග්‍රහණය කරනවා නේද? අපට ජයග්‍රහණය කරන්න පුළුවන්. පසුගිය සැප්තැම්බර් 21 වැනි දින අපේ රටේ විශාලම දේශපාලන හැරවුමක් සිදු වුණා. එතෙක් අපේ රට පාලනය කළ පවුල් සංස්ථා කීපයක් අතින් පොදු ජනතාව අතට බලය මාරු වුණා. ඉන්පසුව මහමැතිවරණය ආවා. එහිදී අප ජනතාවට කීවා මේ රටේ තිබෙන පාර්ලිමේන්තුව දූෂිත බැවින් එය සුද්ද කළ යුතු බව. ජනතාව එය සුද්ද කළා. ජනතාව අපට ජනාධිපති බලය සහ පාර්ලිමේන්තු බලය ලබා දුන්නා. ඒ තුළ අප විශාල වැඩ කොටසක් මේ වන විට ඉටු කරමින් යනවා.

අප බලය ලබා ගන්නා අවස්ථාවේ අපට පැවැතියේ සුඛිත, මුදිත රාජ්‍යයක් නොවේ. තිබුණේ සෑම අතින්ම කඩා වැටුණු රටක්. මේ තත්ත්වය තුළ රටේ ආර්ථිකය කොහොමද ස්ථාවර කරන්නේ කියන අභියෝගය අපට පැවැතුණා. රටක් ගොඩනැඟීමේදී පළමුව රටේ ආර්ථික ස්ථාවරභාවය හදන්න ‍ ඕනෑ. හැබැයි අපට හැකි වී තිබෙනවා මේ වන විට අපේ රටේ ආර්ථිකය සැලකිය යුතු ස්ථාවරභාවයකට ගෙනෙන්න.කොහොමද මේ තත්ත්වය පෙනෙන්නෙ. ඉස්සර අප නිදියන විට ඩොලරයේ අගය එක ගණනක්. නැඟිටින අවස්ථාව වන විට තව අගයක්. හැබැයි අද වන විට මාස 6කට ආසන්න කාලයක් ඩොලරය රුපියල් 300 සීමාවේ අඛණ්ඩව ස්ථාවරව තබාගෙන සිටිනවා. මේක රටේ ආර්ථිකයේ ස්ථාවරය පිළිබඳ සංඥාවක්. උද්ධමනය අවම අගයක තබාගෙන තිබෙනවා. අද අපේ රජය බැංකු පොලී අනුපාතිකය සියයට දහයේ ඉලක්කමට යටින් තබාගෙන සිටිනවා. ආර්ථිකයක් අස්ථාවර වුණොත් මොකද වෙන්නේ. රටේ ආරම්භ කර තිබූ ව්‍යාපෘති නතර වෙනවා. ආයෝජකයෝ ඒවා දමා යනවා. ජපන් රජයේ ආධාර සහිතව ව්‍යාපෘති 11ක් තිබ්බා. ඒවා සියල්ල දාලා ගියා. කඩවත, මීරිගම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය දාලා ගියා. අද කොන්ත්‍රාත්කරුට අප දවසකට ලක්ෂ 210ක් වන්දි ගෙවනවා. නැවත රටේ ස්ථාවරත්වය අප නිර්මාණය කළ නිසා රට දාලා ගිය ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න පටන්ගෙන තිබෙනවා. ජපන් රජයේ ව්‍යාපෘති 11ම නැවත පටන් ගන්නවා. චීන රජය දාලා ගිය සහ අලුත් ව්‍යාපෘති 76ක් ආරම්භ කරන්න තීරණය කර තිබෙනවා. මේ වන විට ආර්ථිකයේ ස්ථාවරභාවය ඇති කරන්න අප සමත් වී තිබෙනවා.

ආර්ථිකයක් ස්ථාවර වන විට එහි ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන එන්න ඕනෑ. අප මේ අවුරුද්දේ ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1400ක් වැය කරන්න තීරණය කර තිබෙනවා. පාරවල්, පාලම්, ඇළවේලි, රජයේ ගොඩනැඟිලි හදන්න වෙන්කළ වැඩිම මුදල මෙයයි. මේ මුදල් වැය කරමින් රට සංවර්ධනය කරන්න අපට හොඳ රාජ්‍ය නිලධාරී යන්ත්‍රණයක් තිබෙන්න ඕනෑ. මේ යන්ත්‍රණය බිඳ වැටිලා තිබෙන්නේ. අප රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. මේ වැඩිවූ වැටුප් ගෙවන්න විතරක් මේ අවුරුද්දේ රුපියල් කෝටි එකොළොස් දහසක් අවශ්‍යයි. 2027 වන විට රාජ්‍ය සේවකයන්ගේ වැඩිවූ වැටුප් ගෙවන්න විතරක් අප රුපියල් කෝටි 33000ක් වැය කරනවා. අපි ආර්ථිකය කළමනාකරණය කරන්නේ මේ ආකාරයටයි. මෙරට ජනතාවට සහන දෙන්න අප කටයුතු කරනවා. අස්වැසුම දීමනාව වැඩි කළා. අස්වැසුම ලැබිය යුතු ඒත් නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. එහෙම පවුල් ලක්ෂ හතරකට ජූනි මාසේ සිට අලුතින් අස්වැසුම දෙනවා.පාසල් දරුවන් කොටසකට නොමිලේ සපත්තු දෙනවා. අලුතෙන් පාසල් වාරය පටන් ගන්නා විට පොත්පත් උපකරණ මිලදී ගැනීමට රුපියල් 6000ක් ලබා දෙනවා. මේ අවුරුද්දේ ළමයින් ලක්ෂ 16කට පාසල් පොත් හා උපකරණ මිලදී ගැනීමට රුපියල් 6000 ලබා දෙනවා. වැඩිහිටි දීමනාව, මහපොළ ශිෂ්‍යාධාර, වකුගඩු දීමනාව අප වැඩි කළා. අප ඒ ආකාරයට ජනතාවට සහන දෙනවා. ආර්ථිකයේ ඉතිරි කර ගත් ධනය ජනතාවට ලබා දෙනවා.

තව අපට ඉදිරියට විශාල ගමනක් යන්න තිබෙනවා. අපේ රටේ ආර්ථිකය ගොඩනැඟීමට අපට නව සැලසුම් ගණනාවක් තිබෙනවා. සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය සඳහා ඉදිරි හොඳ පිම්මක් ගන්න ඕනෑ. අප පොහොර සහනාධාරය වැඩි කළා. යල කන්නයේ සිට කුඹුරක අතුරු භෝග වගා කරනවා නම් එම ගොවීන්ට ද රුපියල් 15000 ගණනේ ‍ පොහොර සහනාධාරයක් ලබා දෙන්න අප තීරණය කළා. වී මිල ස්ථාවරව අප තබා ගත්තා. ගබඩා ටික සුද්ද කළා. මහ කන්නයේ වී මිල දී ගන්න රුපියල් ලක්ෂ පනස්දාහක් වෙන් කළා. අප අඩු මිලට බීජ ටික දෙන්න කටයුතු කරන්නම්. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට වේගවත් වැඩසටහනක් අප සාදා තිබෙනවා.

කන්තලේට සම්පත වී තිබුණු, දීර්ඝ කාලයක් වැසී තිබෙන කන්තලේ සීනි සමාගම යළි ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් අපේ කර්මාන්ත අමාත්‍යාංශය ක්‍රියාත්මක කර තිබෙනවා. එම කටයුත්ත අප ඉතා ඉක්මනින් ආරම්භ කරනවා. මේ පළාත්වල ජනතාවගේ ඉඩම් ප්‍රශ්න තිබෙනවා. ඔප්පු ගැටලු අප විසඳනවා. කොහොමද? ගොවියාගේ ඉඩමේ අයිතිය බැහැර කරන්න ඉඩ නොදෙන ආකාරයේ අලුත් ඔප්පුවක් ගොවි ජනතාවට අප ලබාදෙනවා. හැබැයි ඉඩම් තිබෙන්න ඕනෑ ගොවි ජනතාව අතේ. විකුණන්න නොහැකි වන සේ නීතියක් දානවා.අම්මා තාත්තගෙන් පස්සෙ දුවා දරුවන්ට ඉඩම අයිති වන ආකාරයේ නව නීති සමඟ අප ඉඩම් ඔප්පු ටික ලබා දෙනවා.

අපේ දුවා දරුවන්ගේ ඉදිරි පිම්ම ගන්න වෙන්නේ අධ්‍යාපනයෙන්. වර්තමාන අධ්‍යාපනය මව්පියන්ට බරක්, දරුවන්ට පීඩාවක්. මේක අද තරගයක්. පාසල් යනවා. ආයේ ටියුෂන් යනවා. රෑත් පන්ති. මේ නිසා දරුවන්ට නිදාගන්න වෙලාවක් නැහැ. සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. යන්ත්‍ර බවට දරුවන් පත්වෙලා. අප මහ ඡන්දයේදී මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන බව ප්‍රකාශ කළා. එළඹෙන ජනවාරි මාසයේ සිට 06 පන්තියටත්, පළමුවෙනි පන්තියටත් දරුවන්ට බරක් නොවෙන නව විෂය නිර්දේශය අප හඳුන්වා දෙනවා. අලුත් අධ්‍යාපන ක්‍රමයක් අප හදනවා. දරුවන්ට ඉගෙන ගන්න අවශ්‍ය පහසුකම් අප දෙන්නම්. ළමයි 20 – 30 සිටින පාසල් තිබෙනවා. එම පාසල්වලින් ඒ ළමයින්ට වැඩක් නැහැ. එවැනි පාසල්වල සිටින දරුවෝ පහසුකම් සහිත පාසල්වලට යොමු කරනවා. අප අධ්‍යාපනයට වැඩිම බර දමා තිබෙනවා. මවුපියන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දරන වැය බර අප අඩු කරනවා.

ප්‍රවාහන සේවයට විශාල වැඩසටහනක් අප සාදා තිබෙනවා. අපට හොඳ බස් රථ නොවේ තිබෙන්නේ. කන්තලේ සිට බස් එකෙන් කොළඹ ගිහින් ආපසු පැමිණි විට රෑට නිදාගන්න පෙනඩෝල් දෙකක් බොන්න වෙනවා. මේ අය වැය ලේඛනයෙන් දැනටමත් රුපියල් කෝටි 300ක් වෙන්කර තිබෙනවා, පහසුකම් සහිත ප්‍රවාහන සේවක් ලංකාවේ ආරම්භ කරන්න. ආරම්භයේදී එය නගරවල පටන් ගන්නම්. ඉන්පසු මෙය ගමට එනවා. හැබැයි මේ සඳහා යම් කාලයක් අවශ්‍යයි. පවුලට වෛද්‍යවරයෙක් ඉන්න ඕනෑ. හම්බවෙන, හම්බවෙන දොස්තර ළඟට ගොස් බෙහෙත් ගන්න ඕනෑ නැහැ. අපේ සෞඛ්‍ය සේවයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. අද ගොඩනැඟී තිබෙන්නේ මේ රට වෙනස් කරන ආණ්ඩුවක්. රටේ ජනතාවගේ වුවමනා ඉටු කරන ආණ්ඩුවක්.

ජාතික ජන බලවේගය හැර මෙවන් වැඩ කොටසක් ඉටු කරන වෙනත් කවුරුන් හෝ ඉන්නවාද? වර්තමානයේ රට ගොඩනැඟීම තිබෙන්නේ ජාතික ජන බලවේගය අතේ. දැන් ප්‍රාදේශීය සභා මැතිවරණය පැමිණ තිබෙනවා. මේ ග්‍රාමීය ප්‍රාදේශීය සභාවලට විශාල ආදායම් නැහැ. කන්තලේ ප්‍රාදේශීය සභාවට ලක්ෂ සීයක වගේ ආදායමක් තිබෙන්නේ. හැබැයි ප්‍රාදේශීය සභාවට වැඩ ගොඩක් තිබෙනවා. ජනතාවගේ දෛනික ජීවිතයේ තිබෙන විශාල ගැටලු ප්‍රමාණයක් විසඳන්න තිබෙන්නේ ප්‍රාදේශීය සභාවට. හැබැයි සල්ලි මදි. අප මේ නොවැම්බර් මාසෙ තවත් අය වැය ලේඛනයක් ඉදිරිපත් කරනවා. ඒ නිසා කන්තලේට, ත්‍රිකුණාමලයට විය යුතු කාර්යභාරය පිළිබඳ යෝජනා අපට එවන්න ඕනෑ. ජූනි මාසේ වන වනවිට යෝජනා ගන්නවා. ජනතාව වෙනුවෙන් කරන්න ඕනෑ වැඩ කොටසක් ප්‍රාදේශීය සභාවෙන් කරනවා. ඉතිරි කොටසට මුදල් ආණ්ඩුවෙන් ගන්නවා. මෙහිදී ප්‍රාදේශීය සභාව ජාතික ජන බලවේගය සතු නම් ආණ්ඩුවට මුදල් ලබාදීම ඇස් පියාගෙන කරන්න පුළුවන්. ප්‍රාදේශීය සභාව වෙනත් පක්ෂයක් සතු නම් මුදල් ලබාදීම පිළිබඳව දැඩිව සොයා බලනවා. ඒකට හේතුව ඔවුන්ගේ කටයුතු ගැන අප දන්න නිසා. ඔවුන් අතීතයේ කටයුතු කළේ පාරට කොන්ක්‍රීට් ටිකයි, වැඩි මුදල් ප්‍රමාණයක් සාක්කුවට යන ලෙසයි. සොරකම් කරන්න කාටවත් සල්ලි දෙන්නේ නැහැ. පසුගියදා පනතක් ගෙනාවා. සොරකම් කළ ධනයත් ආපසු පවරා ගන්න නීති හදලා, භාණ්ඩාගාරයට සල්ලි එකතු කර එම සල්ලි සොරකම් කරන්න කාටවත් ඉඩ දෙන්න පුළුවන්ද? මහ ආණ්ඩුව සොරකම් කරන්නේ නැහැ. ඒ වගේම සොරකම් නොකරන ප්‍රාදේශීය සභාවක් අපට අපට අවශයි. ඒ සඳහා ජාතික ජන බලගවේගයට රටේ සියලු ප්‍රාදේශීය සභා දෙන්න ඕනෑ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට සක්‍රීයව වැඩ කරමින් වංචාවේ, දූෂණයේ යෙදුන අයට නීතිය ක්‍රියාත්මක කරනවා. සියල්ලට සමානව නීතිය ඉටුවන රටක් මේ වන විට අප නිර්මාණය කර තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් අද අල්ලස් කොමිසමෙන් ලියුම් යවනවා. මීට පෙර නීතිය ක්‍රියාත්මක වුණේ කොහොමද? එවැනි පුද්ගලයන් කවදාවත් සී.අයි.ඩී. එකට එන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කිරීමට බලය අප අදාළ ආයතනවලට ලබාදී තිබෙනවා. පසුගිය දිනවල පොලිස්පතිවරයෙක් අප හෙවුවා. මෙයින් සැමට එක නීතියක් ක්‍රියාත්මක වන බව පෙනෙනවා. සෑමදෙනාම නීතියට යටත් රටක් අප නිර්මාණය කරනවා. නීතියට හැමෝම බිය විය යුතුයි. පසුගිය කාලයේ බලවත් අය රෙජිස්ටර් නොකළ වාහන පාරේ ධාවනය කළා. ඇමැතිවරු, මන්ත්‍රීවරු ඒ අතර ඉන්නවා. ආනයන තහනම් කර තිබියදීත් ඔවුන්ට වාහන රැගෙන එන්න පුළුවන්. එහෙම ලියාපදිංචි නොකර වාහන ගෙන්වූ අයත් ඇතුළට ගන්නවා. තව පෝලිමක් ඉන්නවා.

යහපත් රටක් නිර්මාණය කිරීමට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සියලු ප්‍රාදේශීය සභා නගර සභා ජාතික ජන බලවේගයට ලබාදෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

උපාලි කරුණාරත්න සහ චමීර ඇල්ලදෙණිය