සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම් / ඉවසීමෙන් සිරි දළදා වන්දනාවට එක්වෙන්න-බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි

හෙටින් ඇරඹෙන සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සියලු පහසුකම් සලසා ඇතැයි බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද කීය.

සිරි දළදා වන්දනාවට සහභාගි වන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට විදුලිය, ජලය, සෞඛ්‍ය, ප්‍රවාහන ආදී සියලු පහසුකම් සැලසීමට රජය මැදිහත් වී තිබෙනවා. එසේ වුවත් පුද්ගල බද්ධව විශාල ඉවසීමක් සහ කැපවීමකින් මේ උතුම් කටයුත්තට දායක වෙන්න කියලා මම ඉල්ලනවා. මහ නාහිමිවරුන් සහ දියවඩන නිලමේතුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සංවිධාන කටයුතු සිදුකෙරෙනවා. ශ්‍රී ලංකා රජය ලෙස අපටත් මේ ලැබෙන අවස්ථාව ඉතා දුලබ අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ ජනතාව සතුව තිබෙන අති උත්කෘෂ්ඨතම සංස්කෘතික දායාද වස්තුව දළදා වහන්සේයි.

ජීවමාන බුදුන් හා සමයි. දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ඉදිරි දිනවල ලක්ෂ සංඛ්‍යාත සෙනඟක් මහනුවරට ළඟා වීමට නියමිතයි.

අපේ බෞද්ධ බැතිමතුන් වගේම තානාපතිවරු විදේශ බැතිමතුන් ඇතුළු ලෝකවාසී සියලු දෙනාගෙන්ම ඉල්ලන්නේ ගෞරවනීයව හා සාමූහිකව මේ කටයුත්තට සම්බන්ධ වෙන ලෙසයි.

රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් තම තමන්ගේ දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් වගේම පොලීසිය, ත්‍රිවිධ හමුදාව, තම තමන්ගේ ශ්‍රමය කැප කරනවා. ඒ නිසා ඉතා ගෞරවනීයව සද්ධා සම්පන්නව සහ ඉවසීමෙන් දළදා වහන්සේ වැඳ-පුදා ගැනීමට එක්වන ලෙස මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. කාරුණිකව ඉවසිලිවන්තව මේ වැදගත් කටයුත්තට සම්බන්ධ වෙන්න.