ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරුබදු හේතුවෙන් යුරෝපා සංගමයේ ආර්ථිකය යුරෝ බිලියන 200කින් පහළ වැටෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අනාවැකි පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ට්‍රම්ප්ගේ නව තීරුබදු ප්‍රතිපත්තියෙන් යුරෝපා සංගමයේ රටවල්වලින් ආනයනය කරනු ලබන වානේ, ඇලුමීනියම් සහ මෝටර් රථ සඳහා 25% ක තීරුබදු සහ සෙසු භාණ්ඩ සඳහා 20% ක තීරුබදු පනවා ඇති අතර, වසර 2023 දී අමෙරිකාවට යුරෝ බිලියන 503.8ක නිෂ්පාදන අපනයන කර ඇති යුරෝපා සංගමයේ අපනයන ආර්ථිකය නව තීරුබදු හේතුවෙන් යුරෝ බිලියන 200කින් පහත වැටෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ට්‍රම්ප්ගේ අධික තීරුබදු හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින යුරෝපයේ රටවල් රැසක් මේ වනවිට සිය ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා චීනය දෙසට අවධානය යොමු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එහෙත් පසුගිය වසර කිහිපය තුළ යුරෝපා සංගමය විසින් චීන නිෂ්පාදනවලට දැඩි තීරුබදු පනවනු ලැබීමෙන් උද්ගත වූ ආර්ථික අර්බුදය මත යුරෝපා නිෂ්පාදනවලට චීනයෙන් සාර්ථක ප්‍රතිචාර ලැබීම ගැටලුසහගත බව ද වාර්තා වේ. යුරෝපා සංගමය චීනයේ විදත් මෝටර් රථ සඳහා පනවා ඇති අධික තීරුබදු නැවත සමාලෝචනය කරන ලෙස දැනටමත් එම සංගමයේ සාමාජික රටක් වන ස්පාඤ්ඤය ඉල්ලීමක් කර ඇති බවත්, පසුගියදා චීනයේ සංචාරයක නිරත වූ ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ සැන්චේස් යුරෝපා සංගමයේ ප්‍රධානි උර්සුලා වොන් ඩර් ලේයන්ගෙන් එම ඉල්ලීම කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
