ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය ආර්ථිකය කලඹයි-චීන භාණ්ඩ සඳහා තීරුබදු 245%කින් ඉහළ දමයි

ලොව විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටවල් දෙක අතර තීරුබදු යුද්ධය ඉහළ දමමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයෙන් ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා 245% දක්වා තීරුබදු ඉහළ දැමූ බව ධවල මන්දිරය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපතිවරයා මේ පියවර ගෙන ඇත්තේ සිය තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව චීනය විසින් දක්වනු ලැබූ දැඩි ප්‍රතිචාර හේතුවෙන් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. පසුගියදා අමෙරිකාවට ගෙන්වනු ලබන චීන භාණ්ඩ සඳහා 145% ක තීරුබදු පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගැනීමෙන් පසු චීන රජය ද අමෙරිකාවෙන් ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා 125% ක තීරුබදු පැනවීමට පියවර ගත් අතර, දෙරට අතර තීරුබදු යුද්ධය චීනයේ ආයතනික ඉපැයීම් අවදානම් තත්ත්වයකට පත්වීමට හේතුවනු ඇතැයි ලෝක ප්‍රකට ස්ටැන්ලි මෝගන් මූල්‍ය සමාගම ප්‍රකාශ කර තිබේ.

පසුගිය මාසයේ අගභාගයේදී අමෙරිකානු ජනාධිපතිවරයා නව තීරුබදු ප්‍රකාශය නිකුත් කරමින් චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පනවන ලද 34% ක තීරුබදුවලට එරෙහිව චීනය ද 34% ක තීරුබදු පැනවීමට පියවර ගැනීමෙන් පසු දෙරට අතර තීරුබදු යුද්ධය ආරම්භ වූ බවත්, මේ තීරුබදු යුද්ධය නිසා චීනයේ ආදායම් තවදුරටත් අවිනිශ්චිතතාවක් ඇති කරනු ඇති බවත් ස්ටැන්ලි මෝගන් මූල්‍ය සමාගමේ විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.