අවුරුදු සමයේ අධිවේගි ආදායම කෝටි 27 පනී

සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුවත් සමඟ ගම්බිම් සහ විනෝද චාරිකා සඳහා අධිවේගි මාර්ග ඔස්සේ ගමන් කළ වාහනවලින් ගෙවී ගිය දින 05ක කාලය තුළ ලද ආදායම රුපියල් කෝටි 27කට අධික බව මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරු සඳහන් කරයි.

මෙම ආදායම උපයා ඇත්තේ පසුගිය 11 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ කාලය තුළය.

පෙරේදා (15) පමණක් උපයා ඇති ආදායම රුපියල් 48,460,950කි. මෙදින අධිවේගි මාර්ග ඔස්සේ ගමන් කර ඇති වාහන ප්‍රමාණය 134,941කි.

එම කාලය තුළ අධිවේගි මාර්ගයේ වාහන හත් ලක්ෂ අසූ හත්දාහක් ගමන් කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (නඩත්තු හා මෙහෙයුම්) ආර්.ඒ.ඩී. කහටපිටිය මහතා පැවසීය.