වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000 ක් වාර්තා වෙනවා – සෞඛ්‍ය ඇමති

වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනාගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඉන් බහුතරය මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවත්, කාන්තාවන් අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගන්නා බවත් ඔහු සඳහන් කරනවා.

පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000 කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වන බව සෞඛ්‍ය දත්ත මගින් පෙන්වා දෙන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

පිළිකා රෝගය මර්දනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට සාධනීය විශේෂ වැඩසටහන් සැලසුම් කරමින්, ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කර සිටිනවා.