විදෙස් සංචිත ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.51 දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

මාර්තු මාසයේ අවසානය වන විට එම අගය වාර්තා කර තිබෙන අතර එය මේ වසරේ පෙබරවාරි මාසයේ අවසානය වන විට පැවති අමෙරිකානු ඩොලර් බිලියන 6.08ට සාපේක්ෂව සියයට 7.1ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

සංචිතවල වර්ධනයෙන් රටේ බාහිර තත්ත්වය ශක්තිමත් කිරීමක් පෙන්නුම් කරන අතර, මෙම වැඩි වීමට එක් හේතුවක් ලෙස දේශීය වෙළෙඳපොළේ විදේශ මුදල් මිල දී ගැනීම් පෙන්වා දිය හැකි බව මහ බැංකුව කියයි.

මාර්තු මාසය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් අමෙරිකානු ඩොලර් මිලියන 401.9ක් අත්පත් කරගෙන තිබෙන අතර, එය සංචිත වත්කම්වල සමස්ත වැඩි වීමට සැලකිය යුතු ලෙස දායක වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.