අලුත් අවුරුදු ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම අද සිට ක්‍රියාත්මකයි

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්වන මගී ජනතාව වෙනුවෙන් අද (09) සිට 21 වැනි දා දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනූව මහනුවර ,පුත්තලම, හයිලෙවල් / ලෝලෙවල් , දඹූල්ල හා ගාල්ල යන ප්‍රධාන කොරිඩෝ 5ක් කේන්ද්‍ර කර ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් දුර ගමන් බස්රථ සේවා ක්‍රියාත්මක කරනු ලබයි.

ස්ථිර කාලසටහන්වල ධාවනය වන බස්රථවලට අමතරව අතිරේක ගමන්වාර 500ක් ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.

මාකුඹුර , කඩවත , කඩුවෙල හා කොළඹ බැස්ටියන් මාවත කේන්දු කර ගනිමින් අධිවේගී මාර්ගය හරහා ගාල්ල , මාතර , බදුල්ල , තංගල්ල , කතරගම වැනි ගමනාන්ත සඳහා අතිරේක බස්රථ ගමන්වාර 350ක් යෙදවීමටද කටයුතු යොදා තිබේ.

මීට අමතරව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, මහනුවර හා ගාල්ල යන ගමනාන්තවල සාමාන්‍ය ගමන්වාරවලට අතිරේකව විශේෂ දුම්රිය සේවා යොදවා ඇත.

මෙම කාලසීමාව තුළ ගම්බිම් බලා ගමන් ගැනීමට කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත බස්නැවතුම්පළවලට ලක්ෂ 8කට ආසන්න මගී ජනතාවක් පැමිණෙනු ඇති බවට, ජාතික ගමනාගමන කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

මෙම මගීන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් , ආරක්ෂාව සහ ප්‍රථමාධාර අදාළ බස් පර්යන්තවලට සපයා ඇති අතර විශේෂ රාජකාරි සඳහා නිලධාරීන් ද යොදවා තිබේ.

ඉහත කාල සීමාව තුළ දවසේ පැය 24ම ආවරණය වන පරිදි මෙහෙයුම් මැදිරියක් සහ පාරිභෝගික සත්කාරක ඒකකයක්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ස්ථාපිත කර තිබේ.

1955 ක්ෂණීක දුරකතන අංකය සහ 071-2595555 වට්ස්ඇප් අංකය මගින් මගී ජනතාවට සම්බන්ධ විය හැකි බවද එම කොමිෂන් සභාව දැනුම් දෙයි.

එසේම, ජාතික ගමනාගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් විස්තර 1958 සහ දුම්රිය විමසීම් සඳහා 1971 කෙටි දුරකතන අංකවලට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

මෙම කාලසීමාව තුළ මගී ජනතාවගෙන් වැඩිපුර ගාස්තු අයකිරීම සිදුවන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා ප්‍රධාන කොරිඩෝ ආවරණයවන පරිදි දවසේ පැය 24 පුරා ජංගම පරීක්ෂක නිළධාරීන් සේවයේ යොදවා තිබෙන බවද දැනුම් දෙයි.