සමස්ත ලෝකයම බරපතළ වෙළෙඳ යුද්ධයක පැටලී සිටියි. කිසිදු රාජ්ය්යකට නිදහස් හා සැනසිල්ලේ සිය වෙළෙඳ කටයුතු කරගෙනයෑමේ හැකියාවක් නැත. ලෝක බලවතා වන අමෙරිකාව සෑම රාජ්‍යයකටම බලපාන අයුරින් බදු ප්‍රතිපත්තිය වෙනස් කර ඇත. එහි ඉලක්කය වන්නේ අමෙරිකන් ආර්ථිකයට වාසිසහගත අයුරින් තීරුබදු ක්‍රමය පවත්වාගෙනයෑම හා ආර්ථික ගනුදෙනු සිදු කිරීමය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බදු ප්‍රතිපත්තිය හඳුන්වාදෙමින් බරපතළ ප්‍රකාශයක් නිකුත් කළේය.
“මෙතෙක් කාලයක් අමෙරිකන් ජනතාවගේ බදු මුදල් හා අමෙරිකන් ජාතිය සතු සම්පත් ලෝකයේ සෙසු රටවල් විසින් සූරාකෑමට හා අපහරණයට ලක් කරන ලදි. දැන් එය වෙනස් විය යුතුයි. වන්දියකුත් සමඟ මේ සම්පත් ආපසු අමෙරිකාවට ලැබිය යුතුයි.”
ජනාධිපති ට්‍රම්ප්ගේ ඉලක්කය වන්නේ අමෙරිකාව සතු සම්පත් ප්‍රමාණය හා ඩොලරයේ වටිනාකම ස්ථාවර මට්ටමක පවත්වාගෙනයෑමය. එය වේගයෙන් සිදුවිය යුතු බව ට්‍රම්ප්ගේ මතය වෙයි. America Fint යන්න ඔහුගේ සටන් පාඨය වෙයි. නැවතත් සුපිරි අමෙරිකාවක් ගොඩනැඟීම ට්‍රම්ප්ගේ සිහිනය වෙයි. මේ වනවිට ද අමෙරිකානු ආර්ථිකය ලොව ඇති බලවත්ම ආර්ථිකය වෙයි. දෙවන ආර්ථිකය හිමි වන්නේ චීනයට ය. ට්‍රම්ප්ගේ නව තීරුබදු ප්‍රතිපත්තිය නිසා සමස්ත ලෝකයේම ආර්ථිකය උඩුයටිකුරු වනු ඇතැයි මේ වනවිටත් පුරෝකථන ඉදිරිපත් වී ඇත. මෙහි ක්ෂණික ප්‍රතිඵල කිහිපයක් මේ වන විට ද දැකගත හැකිය.
(I) ලොව ප්‍රධාන කොටස් වෙළෙඳපොළවල් කඩා වැටී ඇත.
(II) බලවත් සමාගම් ක්ෂණික කම්පනයකට ලක්වී ඇත.
(III) මූල්‍ය සමාගම් සිය කටයුතු අක්‍රිය කරමින් සිටියි.
(IV) ආර්ථික අවපාතයක පූර්ව ලකුණු පහළ වී ඇත.
(V) රැකියා අවදානමක් මතුවී ඇති අතර දසලක්ෂ ගණනකට රැකියා අහිමිවන බව ප්‍රකාශිත ය.
(VI) දුප්පත්ම රටවල අපනයන කර්මාන්ත හා සේවා ආර්ථිකයන් පල්ලම් බසිනු ඇත.
ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය ගැන මත දක්වන ලෝක වෙළෙඳ සංගමය මෙහි භයානක ප්‍රතිඵල ඉතා කෙටි කාලයක් තුළ මතුවනු ඇතැයි නිවේදනය කර තිබේ. අන්තර්ජාතික අරමුදල දන්වා සිටින්නේ මේ තත්ත්වය අධ්‍යයනය කිරීම සඳහා තවත් සති දෙකක පමණ කාලයක් විඩංගු කළ යුතු බවය. යුරෝපා සංගමය, කැනඩාව, මෙක්සිකෝව, චීනය, එංගලන්තය ඇතුළු බලවත් රටවල් හා සංවිධාන ඩොනල්ට් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය හා ආර්ථික වැඩසටහන් දැඩි දෝෂදර්ශනයට ලක් කරන අතර, ප්‍රංශ ජනාධිපතිවරයා කියා සිටින්නේ බටහිර රටවල් එක පෙළට ශක්තිමත්ව හිටගෙන අමෙරිකා එක්සත් ජනපදය හුදෙකලා කළ යුතු බවය. චීනය, කැනඩාව, මෙක්සිකෝව, ඉන්දියාව ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව විකල්ප ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. මේ අනුව ට්‍රම්ප්ගේ ඉලක්ක පහසුවෙන් ජයගන්නේ නැත යැයි කිව හැකිය.
1989 පමණ වනතෙක්ම ලෝකය අත්දුටුවේ වෙනත් යුද්ධයකි. එය ධනවාදය හා සමාජවාදය අතර වූ ශීතල යුද්ධය ලෙස හැඳින්විය හැකිය. එහි ධනවාදී පාර්ශ්වයේ නායකත්වය හිමිවූයේ අමෙරිකාවටය. එදා අමෙරිකාව හැඳින්වූයේ ලෝක වෙළෙඳාම සම්බන්ධයෙන් සිටින අවංක බ්‍රෝකර්වරයා ලෙසය. මෙය ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ගුරුවරයකු වූ පෝල් එච්. නීට්ෂේගේ හඳුන්වාදීමකි. එහෙත්, 1991 සෝවියට් දේශයේ කඩාවැටීමත් සමඟ ශීතල යුද්ධය නිමාවට පත්විය. ධනපති ලෝකය ජයග්‍රහණය තහවුරු කරගත් අතර අමෙරිකාවේ හා එංගලන්තයේ සටන් පාඨය වූයේ නිර්බාධක ලෝක වෙළෙඳාමක් යන්නය. නව ලිබරල්වාදයේ ප්‍රධාන පදනම දේශසීමා බාධකවලින් තොර ලෝක වෙළෙඳාමකි. අමෙරිකාවේ රොනල්ඩ් රේගන් මෙන්ම මහා බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් මේ ආර්ථික ක්‍රමය ශක්තිමත් කළහ. මේ වනවිට සටහන් වී ඇත්තේ එහි උපරිමය යැයි කිව හැකිය.
‘ධනවත් රටවල් වඩාත් ධනවත් වීම හා දුප්පත් රටවල් තවදුරටත් දුප්පත් කිරීම’ ලෙස ඇතැම් ආර්ථික විශේෂඥයෝ නව ලිබරල්වාදය හැඳින්වූහ. කුමක් වුව නව ලිබරල්වාදය ලෝකයේ ආර්ථික ප්‍රශ්නවලට හෝ දුප්පත්කම පිටුදැකීමට හෝ ස්ථාවර විසඳුමක් වූයේ නැත. එය අද වනවිට හොඳටම දැකගත හැකිය.
ඉහත ආර්ථික විග්‍රහය සමාජවාදී හා මැදිහත් ආර්ථික විශේෂඥයන්ගේ මතයක් පමණක් නොවේ. ධනේශ්වර ක්‍රමය පිළිගත් හා එම පාර්ශ්වය නියෝජනය කළ ආර්ථික විද්‍යාඥයෝ ද එම මතය දැරූහ. නිදසුනක් ලෙස නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයකු වූ ආචාර්ය ඊ.එෆ්. ෂූමාකාර්ගේ ‘පුංචි දේ ලස්සනයි’ (Small in beautiful) නම් සම්මානනීය කෘතියෙන් ද එම මතය සනාථ කර තිබිණි. මින් හැඟවෙන වැදගත් අදහසක් වන්නේ විද්‍යාත්මක සමාජවාදීන් දරන ප්‍රධාන මතවාදය වූ දුප්පත්කමට, සංවර්ධනයට හා සූරාකෑම නැවැත්වීමට ධනපති ක්‍රමය තුළ විසඳුම් නැත යන්නය. එය අද වනවිට තහවුරු වෙමින් පවතින්නේ අප්‍රිකාවේ, ලතින් අමෙරිකාවේ හා ආසියාවේ ඇති ආර්ථික අර්බුදය යැයි පෙන්වා දිය හැකිය. සෝමාලියාවේ දරුණු සාගතයක් පැතිර යයි. සූඩානයේ හා කොංගෝවේ ද මන්දපෝෂණය පැතිර යයි.
දෛවයේ සරදමක් ලෙස දැන් සූරාකෑම ගැන කතා කරන්නේ අමෙරිකාවය. ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරන අන්දමට දුප්පත් රටවල් නැතහොත් තෙවන ලෝකයේ රටවල් අමෙරිකාව සූරාකෑමට ලක් කරන අතර, අපහරණයට හෙවත් දූෂණයට ද ලක් කරයි. ට්‍රම්ප්ගේ මේ ක්‍රියාවලිය නිසා අලුත් ආර්ථික ප්‍රයාම ගණනාවක් ඇතිවීමට නියමිත බව ද තවත් පිරිසක් පෙන්වා දෙති.
(I) කලාපීය ආර්ථික සහයෝගීතා සංවිධාන බිහිවී ක්‍රියාත්මක විය හැකිය. දකුණු ආසියාවට සාර්ක් සංවිධානය තිබේ. අප්‍රිකාවට අප්‍රිකානු සංගමය ඇතුළු තවත් සංවිධාන තිබේ.
(II) චීනය, ඉන්දියාව හා රුසියාව අලුත් ආර්ථික සන්ධානයක් ඇති කරගත හැකිය. එය බලවත් ආර්ථික සංවිධානයක් විය හැකිය.
(III) බ්‍රික්ස් සමුළුව අලුත් වටයකින් ඉදිරියට පැමිණියේය. මේ වනවිට පොදු විනිමය ඒකකයක් ගැන සාකච්ඡාවක් පවතියි.
(IV) පොදුවේ ගත් කල කොටස් වෙළෙඳපොළ කඩාවැටීම දිගින් දිගටම සිදු වෙමින් පවතියි. මූල්‍ය සමාගම් දුර්වල වෙයි. ලෝක ඩිජිටල්කරණය අවුල් වෙයි.
(V) යුරෝපා සංගමය තවදුරටත් ශක්තිමත් වෙයි. සංගමය හා අමෙරිකා එක්සත් ජනපදය අතර පරතරය හා විභේදනය තවදුරටත් පුළුල් වෙයි. ඒ ඔස්සේ ලෝක ආර්ථිකය තවත් නරක පැත්තකට තල්ලු වෙයි.
මේ වනාහි ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්ති මත වසර කිහිපයක් තුළ ඇතිවිය හැකිව තිබෙන බැලූබැල්මට පෙනෙන්නට ඇති ආර්ථිකයේ ස්වභාවයයි. මෙය ඊට වඩා කිහිප ගුණයකින් දරුණු වන්නට පුළුවන. විකෘති වන්නටත් පුළුවන. ඇතැම්විට දිගුකාලීන වශයෙන් අමෙරිකාවට ඉතා සුබදායක තත්ත්වයක් වන්නටත් පුළුවන.
ලෙසතෝ නම් කුඩා දුප්පත් රාජ්‍යය වෙනුවෙන් 50%ක තීරුබදු නියම කළ ට්‍රම්ප්, ඒකත් රටක් දැයි ප්‍රශ්න කළේය.
ඔහුගේ අහංකාර දැඩි නායකත්වය එම ප්‍රකාශයෙන් හොඳහැටි වටහාගත හැකිය.
ලෝකය පළමුව ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුනාගත්තේ ශූර ව්‍යාපාරිකයකු හැටියටය. පාඩු නැතිව සිය ව්‍යාපාරය පවත්වාගෙන යන ආකාරය ට්‍රම්ප් හොඳහැටි දැනගෙන සිටියේය. ලෝකය දෙවනුව ඔහු හඳුනාගත්තේ ආර්ථිකය කණපිට පෙරළන බලසම්පන්න දේශපාලකයකු හැටියටය. 1925 මුල් කාර්තුවේ දී ජාත්‍යන්තර ටයිම් සඟරාව ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වන්නේ මේ වසරේ ලෝක මිනිසා හැටියටය. ටයිම් සඟරාවේ ප්‍රධාන කර්තෘ සෑම් ජාකොබ්ස් කියා සිටින පිළිවෙළට නම් ඔහු එනම්; ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් ලෝකය පැමිණි ආර්ථික මාර්ගය පමණක් නොව; දේශපාලන මාර්ගය ද වෙනස් කරනු ඇත. එය හොඳ පැත්තට ද නරක පැත්තට ද යනු දැන්ම නිශ්චය කළ නොහැකිය.
යළිත් ශ්‍රී ලංකාව දෙසට යොමුවුවහොත් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය නිසා; අපේ ප්‍රධාන අපනයනය හා ප්‍රධාන විදේශ විනිමය ඉපැයීම වන ඇඟලුම් කර්මාන්තයට යම් බලපෑමක් විය හැකි බැවින් අමෙරිකන් රජය සමඟ සාකච්ඡාකොට යම් සහනයක් ලබා ගතයුතුය. ඒ වගේම අපට තවත් විකල්පයක් ඇත. එනම්, අප වෙනත් වෙෙළඳපොළක් සොයාගැනීම නුවණට හුරුය.