අද ඔබේ සෙවණැල්ල අතුරුදන් වෙයි

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල වාසය කරන ජනතාවගේ සෙවනැල්ල අද (07) දහවල් 12.12 ට මොහොතකට අතුරුදහන් වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා පවසයි.

සූර්යයා සෑම වසරකම දෙවරක් ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන් වන බවත්, ඒ අනුව කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශයේ ජනතාවට මෙම අත්දැකීම අද දහවල් ලබා ගත හැකි බවත් අනුර සී.පෙරේරා මහතා කියාසිටියේය.

Zero Shadow දිනයක් ලෙස මෙවන් දවසක් හදුන්වයි.

මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා අද දහවල් 11.30 සිට කොළඹ නගර සභා භූමියේ විශේෂ කදවුරක් පවත්වන අතර එම ස්ථානයට පැමිණීමට අපහසු ජනතාව තම නිවෙස ඉදිරිපිට පැහැදිලි අහසක් දර්ශනය වන ස්ථානයක ලී මිටක් , යකඩ කූරක් හෝ බෝතලයක් තබා එම අවස්ථාව නිරීක්ෂනය කළ හැකි බවද අනුර සී.පෙරේරා මහතා සදහන් කළේය .

මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට අධික සූර්යය ශක්තියක් ලැබීමට නියමිත ය.

රට පුරා දැඩි උණුසුම් කාළගුණික තත්වයක් ඇති විය හැකි බවත් , එය සමනය කිරීම සදහා වැසි වාර කීපයක් ද ඇති විය හැකි බවත් තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

අද (07) උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් පරිදි දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දහවල් 12:12 ට කොළඹ, අවිස්සාවේල්ල, තලවකැලේ, දිඹුල, ගලකුඹුර සහ දඹගල්ල යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.