හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සමඟ පැමිණි පිරිසක් විසින් කොළඹ යූනියන් පෙදෙසේ පාර්ක් වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට කළ පහරදීමක් සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම පහරදීම සිදුව ඇත්තේ පෙරේදා (22) අලුයම් කාලයේදී බවත් යෝෂිත රාජපක්ෂ මහතා සමඟ ඔහුගේ බිරිය ඇතුළු 10 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් රාත්‍රී සමාජ ශාලාව වෙත පැමිණ ඇති බවත් පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
ආරක්ෂක නිලධාරියාට පහරදුන් තිදෙනකු පැහැදිලිවම හඳුනාගෙන ඇති බවත් ඒ අය කොළඹ අවට පදිංචි රගර් ක්‍රීඩකයන් බවත් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පැවැසීය.
මෙම සිදුවීමෙන් පසු ඔවුන් තිදෙනා සිය නිවෙස්වලින්ද පලාගොස් සැඟව සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් ඔහු කීය.
මෙසේ පලාගොස් සැඟව සිටින්නේ දෙහිවල, තිඹිරිගස්යාය සහ අත්තිඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනකු බව කොම්පඤ්ඤවීදිය පොලීසිය සඳහන් කළේය.
යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙම රාත්‍රී සමාජ ශාලාවට ඇතුළුවීමට සූදානම් වන අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට පවසා ඇත්තේ සමාජ ශාලා පරිශ්‍රයට ඇතුළුවීමේදී පැළඳිය යුතු අත්පලඳනාව පැලඳ ගන්නා ලෙසය. මෙහිදී යෝෂිත රාජපක්ෂ මහතා සමඟ පැමිණි එක් පුද්ගලයකු ඊට විරෝධය දක්වමින් ආරක්ෂක නිලධාරීන් සමඟ ගැටුමකට මුල පුරා ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා සිය බිරිය සමඟ එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පැවැසීය.
මෙහිදී මෙම ගැටලුව විසඳීමට ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මැදිහත් වූ අවස්ථාවේ දී යෝෂිත රාජපක්ෂ මහතා සමඟ එහි පැමිණ සිටි තිදෙනකු ඔහුට පහරදී ඇති බව පොලීසිය සඳහන් කරයි.
තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා කොළඹ ජාතික රෝහලට එම අවස්ථාවේ දී ඇතුළත් කර ඇත. පසුව ඔහුව පෞද්ගලික රෝහලයකට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
ගයාන් කුමාර වීරසිංහ