හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මහත්මිය 2023 සැප්තැම්බර් මාසයේ දී එංගලන්තයේ පෞද්ගලික සංචාරයකට රජයේ මුදල් රුපියල් ලක්ෂ 162ක් වැය කර ඇති බවත් මෙය අපරාධමය වරදක් බැවින් වහාම විමර්ශනයක් සිදු කරන ලෙසත් සභානායක, ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය. ඒ මහතා මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට පෙරේදා (15) සහභාගි වෙමිනි.
2023 වර්ෂයේ සැප්තැම්බර් 22 සහ 23 දිනයන්හි දී හිටපු ජනාධිපතිවරයා සහ එම මහත්මිය මෙම පෞද්ගලික සංචාරය සිදු කර තිබෙන බව ද හෙතෙම කීවේය. සංචාරයට අදාළ ලිපි ලේඛනවල පෞද්ගලික සංචාරයක් ලෙස මුලින් සඳහන් කර තිබුණද අවශ්‍ය දීමනා ලබාගැනීම වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් ලෙස පසුව සඳහන් කරමින් ලැජ්ජාසහගත ලෙස කටයුතු කර ඇති බව ද හෙතෙම පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම, බංකොලොත් කරන ලද රට තුළ රාජ්‍ය මුදල් සිය පෞද්ගලික සංචාර වෙනුවෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.
මහජන ධනය විනාශ කිරීමට අමතර සිය පෞද්ගලික සංචාරවලට පවා මුදල් වියදම් කිරීම පවා සිදුකර ඇති අතර අදාළ සියලු නිලධාරීන් ද සම්බන්ධ කරගනිමින් මේ පිළිබඳ විමර්ශන සිදුකළ යුතු බව ද හෙතෙම පැවසීය.
මෙරට මහජනතාවගේ මුදල් පෞද්ගලික කරුණු සඳහා භාවිත කළ මෙම රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් මෙරට මහජනතාව දැනගත යුතු යැයි ද සභානායකවරයා වැඩිදුරටත් පැවසීය.
“වික්‍රමසිංහ මහතා සිදුකළ එම පෞද්ගලික සංචාරයේදී තවත් දස දෙනෙක් ගිහින් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ, එම මහත්මිය, සේනාරත්න දිසානායක, අන්ද්‍රා පෙරේරා, ආරක්ෂාවට ගිය අය, වෛද්‍යවරයා ආදි වශයෙන් දස දෙනෙක් ගිහින් තිබෙනවා. ඒ වගේම එම පෞද්ගලික සංචාරයේදී සහභාගිවූවන් වෙනුවෙන් කාමර පහසුකම් වෙන්කිරීම ආදිය වෙනුවෙන් වූ සියල්ල මෙහි සඳහන් වෙනවා. ජනාධිපතිවරයා සිය වගකීම් ඇතුළේ නිව්යෝර්ක් සමුළුවට සහභාගි වෙනවා. එහි වරදක් නැහැ. නමුත් මේ මිනිට් එක ඇතුළේ තිබෙනවා, විදේශ කටයුතු අමාත්‍යාංශය විිසින් ලන්ඩන්වලට යවපු ලිපියක තිබෙන්නේ පෞද්ගලික සංචාරයක් සඳහා පිටත්ව යන බවයි. අගෝස්තු 16 වැනිදා. ඒ සඳහා අවශ්‍ය මුදල් ඉල්ලලා යවා තිබෙනවා, අගෝස්තු 17 වැනිදා හදිසි අවශ්‍යතාවක් ලෙසින් අවශ්‍ය වෙන්කිරීම් සිදුකරගැනීම වෙනුවෙන්. පෞද්ගලික සංචාරයක් කියලා පටන් අරන් වියදම් කරලා තිබෙන මුදල් ප්‍රමාණය බලන්න. ශ්‍රී ලංකාවේ මුදල් ලෙස නිදහස් කර තිබෙනවා. ලක්ෂ 162ක් නිකුත් කර තිබෙනවා 2023 සැප්තැම්බර් 23 වැනිදා.
මේක පෞද්ගලික සංචාරයක් කියලයි මම මුලින් කිව්වේ. නමුත් මට දැන් තවත් ලිපියක් හම්බ වුණා. මේක ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කරපු එකක් විය යුතුයි. ඒකේ පෞද්ගලික සංචාරයක් කියන එක ඉවත් කරලා ඔෆිෂියල් ටුවර් එකක් ලෙස සඳහන් කරනවා.
ඇයි මේ පෞද්ගලික සංචාරය හදිසියේ ඔෆිෂියල් ටුවර් එකක් වුණේ. මේ ලබාදෙන මුදල ලබාගන්න කියලා මම විශ්වාස කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා හා එතුමාගේ බිරියගේ පෞද්ගලික සංචාරය වෙනුවෙන් ස්ටර්ලින් පවුම් 40,000ක් ඒ කියන්නේ ලංකාවේ සල්ලිවලින් ගත්තොත් මිලියන 16ක් වියදම් කර තිබෙනවා” යැයිද හෙතෙම කීවේය.