දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන දැවැන්ත ජන ගඟ සැලකිල්ලට ගනිමින් මහනායක හිමිවරුන්ගේ අවසරය පරිදි යම් දින ප්‍රමාණයකින් දළදා දැක්ම දීර්ඝ කිරීම ගැන මූලික අදහසක් රජය සතු බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි. රටේ පවතින සාමකාමී වාතාවරණය තුළ අතිවිශාල ජනතාවක් දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමට මහනුවරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔවුන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට රජය මේ වනවිට සියලු සැලසුම් සකස් කර තිබෙන බවත් ඒ මහතා කීය. සිරි දළදා දැක්ම 2025ට අදාළ ප්‍රචාරණ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාළිගාවේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙසේද පැවසීය. දළදා දැක්ම සම්බන්ධයෙන් පූර්ව ප්රචාරක කටයුතු සිදු කරන ආකාරයත් අප්‍රේල් 18 සිට 27 දක්වා මහනුවර නගරයට පැමිණෙන ජනතාවගේ ප්‍රඥාව වඩවන ආකාරයේ වැඩසටහන් සැලසුම් කිරීමත් සම්බන්ධව සාකච්ඡා කළා. දළදා වහන්සේ සම්බන්ධ මහා සම්ප්‍රදායට අවනතව, අනුගතව තමයි මාධ්‍ය මෙහෙයුම කළ යුතු වන්නේ. රූපවාහිනී, ගුවන්විදුලි වගේම සමාජ මාධ්‍යයත් මීට ඇතුළත්. ඒ සම්බන්ධ මාර්ග උපදේශන සකලවිධ ලෝකවාසීන්ට කඩිනමින් ලැබෙන්න සලස්සනවා. දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා විධිමත්ව ලියාපදිංචි වීමෙන් පසුව තමයි දළදා දැක්ම පැවැත්වෙන මහනුවර පරිශ්‍රයේ කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ. බලසම්පන්න වගකීමක් දරමින් තොරතුරු වාර්තා කරන්න කියා මම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. බැතිමතුන් පවා මොහොතකින් මාධ්‍යවේදීන් බවට පත්වෙන තත්ත්වයක් අද තිබෙන්නේ. දළදා සම්ප්‍රදායට ගරු කරමින් අපි තොරතුරු ලෝකයට ගෙනි යමු. ජාතික පුනරුදයක් සඳහා ශ්‍රී ලංකාවක් තමයි අපේ අපේක්ෂාව. ජාතික පුනරුද ලංකාවේ පහන් සංවේගයක් සහිත සිතක් ඇති කරන්න දළදා දැක්ම උපයෝගි කර ගනිමු. දළදා වහන්සේ කියන්නේ ලෝක උරුමයක්. බෞද්ධ පුනරුදයකට එහා ගොස් ජාතික පුනරුදයක් ඇතිකර ගැනීමට මේක අවස්ථාවක් කරගත යුතුයි.
