මාර්ග සංවර්ධන අධිකාරිය කියන්නේ, මහජනතාවට විශාල සේවයක් සපයන ආයතනයක්. එමගින් ජනතාවට සැපයෙන මූලික යටිතල පහසුකම් තුළින්, ජනතාවට සිය ආර්ථික මෙන්ම සමාජයීය මට්ටමේ සුවිශාල සංවර්ධනයක් ළඟාකර ගතහැකි වෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
රජයක් හැටියට සේවක ඔබගේ ආරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපි බැඳී සිටිනවා. ඒ වගේම රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැපවී කටයුතු කිරීම සේවක ඔබ සැමගේ යුතුකමක් මෙන්ම වගකීමක් යැයිද ඇමතිවරයා පැවසුවේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා “මගනැගුම- මහමැදුර” ස්ථාපනය කර ඇති ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට අයත්, මාර්ග සංවර්ධන අධිකාරියේ පැවති විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි. ආයතනයේ සියළුම අංශවල ක්‍රියාකාරීත්වය මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක්වූ අතර සේවක ගැටළු පිළිබඳවද සාකච්ඡාවට භාජනය විය.
මෙහිදී වැඩිදුටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා,
“සාමාන්‍යයෙන් ඕනෑම ආයතනයක් තුළ ප්‍රශ්න, ගැටළු මෙන්ම අර්බුදකාරී තත්ත්වයන් පවතිනවා. ඒ සම්බන්ධයෙන් කරුණු සොයාබලා කටයුතු කිරීම පාලනාධිකාරිය සතුයි. ජනාධිපතිතුමා විශාල ජනවරමකින් මේ රට භාරගත්තේ, ජනතාවට සුබසිද්ධිය සලසන පරමාර්ථයෙන්. ඒ වෙනුවෙන් එතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඇපකැපවී කටයුතු කරනවා. නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ජනාධිපතිතුමාගේ දර්ශනය ඔබ සැමටම වටහාගත හැකියි. එතුමන්ගේ එම කාර්යභාරය සාර්ථක කරගන්නනම්, නිරන්තරයෙන්ම ජනතාව සහ ආණ්ඩුව අතර මනා සන්නිවේදනයක් අත්‍යාවශ්‍යයි. ඒ නිසයි අපි මේ ආකාරයෙන් ඔබගේ ප්‍රශ්න, ගැටළු ගැන දැනගැනීමට ආයතන වලට පැමිණෙන්නේ. අද මේ නිරීක්ෂණ චාරිකාවෙන් මා දැනගත් ප්‍රධානම කරුණක් තමයි, ඔබගේ වාර්ෂික වැටුප් වර්ධක සම්බන්ධ ගැටළුව. ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හා සාකච්ඡාකර හැකිතාක් ඉක්මණින් සාධාරණ විසඳුමක් ලබාදීමට කටයුතු කරනවා ”
“ඕනෑම ආයතනයක් දියුණු කිරීමටනම්, අදාළ ආයතනයේ සේවක සහාය අත්‍යාවශ්‍යයි. සේවක සහාය මෙන්ම කැපවීම නොමැතිව කිසිඳු ආයතනයක් ඉදිරියට ගෙනියන්න හැකියාවක් නැහැ. ඒ නිසා මම යෝජනා කරනවා, මෙම ආයතනයේ සෑම අංශයක්ම දියුණුකිරීම සඳහා ඉදිරිපත් කළහැකි අදහස් හා යෝජනා සාකච්ඡාකර, මාර්තු මස 20 ට පෙර ලිඛිතව මා වෙත ලබාදෙන්න කියලා. ඔබ විසින් ඉදිරිපත් කරන අදහස්, යෝජනා, චෝදනා සැලකිල්ලට ගනිමින්, ආයතනයේ සහ සේවක ඔබගේ උනන්තිය වෙනුවෙන් ගතහැකි ප්රශස්ත ක්‍රියාමාර්ග ගැනීමට මා බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.
මෙම නිරීක්ෂණ චාරිකාවට, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, අධ්යක්ෂ ජනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගී විය.