ආර්ථික ප්‍රමුඛතා සාකච්ඡා කිරීමට අගමැති සහ ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථාන විධායක අධ්‍යක්ෂක අතර හමුවක්

ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ (ITC) විධායක අධ්‍යක්ෂ පැමෙලා රෝස්මේරි කෝක්-හැමිල්ටන් මහත්මිය හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් මාර්තු 12 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදුවිය.

මෙම හමුවේ දී දෙපාර්ශවය ඩිජිටල් පරිවර්තන, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය සහ කාන්තා ආර්ථික සවිබල ගැන්වීම ඇතුළු ප්‍රධාන ආර්ථික ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක නිරත වූ අතර ඩිජිටල්කරණය, වෙළඳපල ප්‍රවේශය ශක්තිමත් කිරීම සහ ආයතනික රාමු හරහා ආර්ථිකය ප්‍රවර්ධනයේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) පුළුල් ආර්ථිකයට ඒකාබද්ධ කිරීම, ආර්ථිකයට තරුණ ප්‍රජාවගේ සහ කාන්තාවන්ගේ වැඩි සහභාගීත්වයක් ඇති කිරීම සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ආයෝජන හිතකාමී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

මෙහිදී සංචාරක, අපනයන, බලශක්ති, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන, තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (TVET) වැනි ප්‍රධාන අංශ හඳුනා ගනිමින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජයේ කැප වී සිටින බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය.

කාබනික නිෂ්පාදන අපනයනය ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව මෙහි දී හඳුනා ගන්නා ලදි.

ජුලි මාසයේ පැවැත්වීමට නියමිත ගෝලීය සමුළුවට ශ්‍රී ලංකාව සහභාගී වීමත් සමඟ සහයෝගීතා තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීමට මෙම හමුව අවස්ථාව සලසා ඇත.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු (ද්විපාර්ශ්වික) අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන එම්. පෙරේරා මහතා ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.