ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් වෙත හිමිවූ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීම මේ වන විට යළි ආරම්භ කර ඇත.
ඒ අනුව ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා හිමිවූ තරුණයින් 8 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා (11) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාංශයේදී සිදුකරන ලදී.
මෙම පිරිස මාර්තු මස 17 වැනිදා ඊශ්‍රායලය බලායාමට නියමිතය.
නිසි නියාමනයකින් යුතුව සුදුසු පුද්ගලයින් ඊශ්‍රායලයේ කෘෂි රැකියා සඳහා යොමුකිරීම මේ වන විට යළි ආරම්භ කර ඇති බවත්, කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා අවස්ථා වැඩි කරගැනීම හෝ රැකියා අහිමි කරගැනීමේ සියළු වගකීම ඇත්තේ ශ්‍රමිකයින් සතුව බවත්, කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. එබැවින් ඔවුන් නිල නොලත් සන්නාම තානාපතිවරුන් වන බවත්, තමන් උපයාගන්නා මුදල් නිසිපරිදි ආයෝජනය කර මෙරටට පැමිණ ව්‍යාපාර ආරම්භ කර ජීවිතය සාර්ථක කරගන්නා ලෙසත්, ඔවුන්ගේ සියළු ගැටළුවලදී කාර්යාංශය ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඊශ්‍රායලයේ කෘෂි රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට ලබාදීම 2023 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර, ඒ අනුව මේ දක්වා තරුණයින් 2,621 දෙනෙකු ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබේ.