වගා හානි වන සතුන් ජාතික සංගණනය හෙට

කෘෂි භෝග සඳහා හානි පමුණුවන වන සතුන් පිළිබඳ ජාතික සංගණනය හෙට 15දා (සෙනසුරාදා) උදේ 8.00 – 8.05ත් අතර කාල සීමාව තුළ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ සැලසුම් කර ඇති මෙම සංගණනයේදී මහජනතාව වෙත ලබාදෙන සංගණන පත්‍රිකා මේ වන විට සියලුම පළාත්වල නිවාස වෙත ග්‍රාම නිලධාරින් විසින් බෙදා හැර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි සංවර්ධන) ජේ. ඒ. තුසිත නන්දන මහතා කියයි.

ඉතාමත් සීමිත පත්‍රිකා ප්‍රමාණයක් තවමත් මහජනතාව වෙත බෙදාහැරීමට ඇති බවත් ඒවා අද (14) දිනය තුළදීත් නොලැබුණහොත් ඒ පිළිබඳ කලබලයට පත් නොවී, සංගණනයට ලක්කෙරෙන රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනුන් කොපමණ ප්‍රමාණයක් 15දා උදේ 8.00 – 8.05 අතර කාලය තුළ තම ගෙවත්තේ, ගොවි බිමේ සිටින්නේද යන්න කොළයක සටහන් කර තබා ගන්නා ලෙස ද ඒ මහතා දන්වා සිටී.

එසේ සටහන් කරගත් කොළයෙහි තමන්ගේ නම, ගෘහ මූලික අංකය සහ දුරකතන අංකය ලියා ග්‍රාම නිලධාරි වෙත ලැබීමට සලස්වන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කරයි.

ආහාර සුරක්ෂිතතාව, අස්වනු හානිය අවම කිරීම පිණිස, වන සත්ත්ව හානි අවම කරගැනීම සඳහා ඉදිරිපත් වන තිරසර විසඳුමකට අවශ්‍ය මූලික දත්ත රැස් කිරීම සඳහා මෙම සංගණනය පැවැත්වෙන බවත් ජාතික වගකීමක් ලෙස සලකා මේ සඳහා සහයෝගය දැක්වීම ජනතාව විසින් සිදු කළ යුතු බවත් තුසිත නන්දන මහතා අවධාරණය කරයි.

මහා පරිමාණයේ වගාවන් පවතී නම්, එම වගා බිම්වල තොරතුරු ලබා ගැනීම තනි පුද්ගලයකුට කළ නොහැකි බැවින් වගාවන් කළමනාකරණය කරන නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඒ සඳහා එම ආයතනයේ පිරිසක් යොදවා ගැනීමට ග්‍රාම නිලධාරී විසින් සැලසුම් කර ඇත.