සිරිපා වඳින්න එන බැතිමතුන්ට වාහන ගාල් කිරීමට රථවාහන සැලැස්මක්

මැදින්පුර පසළොස්වක පොහොය යෙදී ඇති අද (13) හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය වැඳ ගැනීමට විවිධ ප්‍රදේශවල සිට වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලීසිය පවසයි. වන්දනාකරුවන් පැමිණෙන වාහන ගාල් කිරීමට රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි. මත්පැන් පානය කර සහ මත්ද්‍රව්‍ය රැගෙන එන පිරිස් අත්අඩංගුවට ගැනීමට සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවත් පොලීසිය කියයි.

දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇති බවත් එසේ දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා සහ නල්ලතන්නිය සිට ආපසු හැටන් දුම්රිය ස්ථානය දක්වා රැගෙන ඒමට බස් රථ සේවයක්ද ක්‍රියාත්මකය. ඒ වෙනුවෙන් හැටන් ලංගම ඩිපෝව මගින් සෑම දුම්රිය වාරයකදීම ලංගම බස් රථ ගණනාවක් ධාවනට එක් කර ඇති බව හැටන් දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා පැවසීය.

ගෞතම ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුල්ල දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්ම රක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීපාද උඩ මළුවේ අද (13) දවස පුරා පින්කම් රැසක් පැවැත්වේ.

නෝර්වුඩ් සමූහ – රංජිත් රාජපක්ෂ