විනාශයට පත් සමාජය යළි සුවපත් කරමින් සදාචාර සම්පන්න රටක් ගොඩනැඟීමේදී මෙරට මහා සංඝරත්නය ප්රමුඛ ආගමික සංස්ථාවට අත්හළ නොහැකි මහඟු වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලද රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (10) පස්වරුවේ පැවැති අතර ඊට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.
අභිනව මහානායක නාහිමිපාණන් වහන්සේ වෙත ඊට අදාළ ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් මෙහිදී සිදු කෙරිණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් මහානායක නාහිමිපාණන් වහන්සේ වෙත විජිනිපත පිළිගන්වනු ලැබීය.
වර්ෂ 1948 ඔක්තෝබර් මස 01 වැනි දින මාතර කඹුරුපිටියේදී උපත ලබා වර්ෂ 1962 අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමිපාණන් වහන්සේ වෙතින් ප්‍රවෘජ්‍යාව ලබා උතුම් පැවිදි දිවියට ඇතුළත් වූ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහනස්සේ සිය හැට වසරකට අධික භික්ෂු ජීවිතය තුළ ඉටු කරන ලද ශාසනික, ආගමික, සමාජයීය සහ අධ්‍යාපනික සේවාව අගයමින් අමරපුර මහා නිකාය විසින් උන්වහන්සේ වෙත අභිනව මහානායක ධුරය පිළිගන්වනු ලැබ තිබේ.
මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ආර්ථික සහ දේශපාලන වශයෙන් කොපමණ ජයග්‍රහණ ලැබූවද යහපත් සමාජයක් නිර්මාණය කර නොගතහොත් එම කිසිවකින් ඵලක් නොවන බවයි.
මෙරට කඩාවැටී ඇති සමාජ දේහය යළි සුවපත් කිරීම නීතියෙන් පමණක් කළ නොහැකි බවත් සහකම්පනය සහිත සමාජයක් රට තුළ ගොඩනැඟිය යුතු බවත් මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිවරයා පුරවැසියාගේ යහපැවැත්ම වෙනුවෙන් බුදුන් වහන්සේ ඇතුළු සියලු ආගමික ශාස්තෘවරුන් දේශනා කළ විමුක්තියේ හරය පිළිබඳ ප්‍රබල කතිකාවතක් කඩිනමින් රටට අවශ්‍ය බවද ප්‍රකාශ කළේය.
බෞද්ධ කතිකාවත පිළිබඳ පනත සම්බන්ධයෙන් මේ වන විට මහානායක ස්වාමින් වහන්සේලා සමඟ සාකච්ඡා කරමින් පවතින බවත් විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්තිවල සංශෝධන කෙටුම්පත් කර අවසන් බවත් ජනාධිපතිවරයා පැවැසීය. එය ඉතා ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනතුරුව පාර්ලිමේන්තුවේ සම්මත කර සංඝ සංස්ථාව විධිමත් කර ගැනීම සඳහා අවශ්‍ය බලය මහානායක ස්වාමින් වහන්සේ ප්රමුඛ සංඝ සභාව වෙත පැවරීමට කටයුතු කරන බවද පැවසීය.
මහා නා හිමි චරිතාපදානය ඇතුළු සමරු ග්රන්ථ ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු විය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමි
1802 ආරම්භ වූ අමරපුර නිකාය ලංකාව පුරා ඉතා ඉක්මනින් ව්‍යාප්ත වුණා. දේශීය විහාරස්ථාන 4000කට අධික සංඛාවක් සහ භික්ෂූන් වහන්සේලා 14,000කට අධික සංඛ්‍යාවක් මෙම නියායේ වැඩ හිඳිනවා.
රට පුරාම ගම්නියම්ගම්වල විහාරස්ථාන සංවර්ධනය කරමින් මහජනතාවගේ ජීවිත හදන්න, ශක්තිමත් කරන්න මෙන්ම ජනතාවට හරි පැත්තට ගමන් කරන්න විශාල මෙහෙයක් අමරපුර නිකායේ භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරනවා.
අමරපුර මහා නිකාය වියත් පඬිවරුන්ගෙන් ශෝභමාන වූ නිකායක් ලෙසද හඳුන්වන්න පුළුවන්. පොල්වත්තේ බුද්ධදන්ත මහා නාහිමි, පැලෑනේ වජිරඥාන මහා නාහිමි, වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද නාහිමි වැනි ධර්ම ඥානයෙන් ශෝභමාන වූ යතීන්ද්‍රයන් වහන්සේලා දැක්විය හැකියි.
අමරපුර නිකායේ භික්ෂූන් වහන්සේලා මේ ශාසනය රැක ගැනීම වෙනුවෙන්, ශාස්ත්‍රීය ලෝකය වෙනුවෙන් මහඟු මෙහෙයක් ඉටුකළා.
අපගේ ගුරුදේව අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඩඩ්ලි සේනානායක මැතිතුමා විසින් අක්තපත්‍ර පිරිනමලා මේ අමරපුර නිකායේ සංඝ සභාව නීත්‍යානූකූලව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් උදා කළා.
මේ සංඝ සභාවේ පස්වැනි උත්තරීතර මහානායක පදවියට තමයි මාව පත්කර ගත්තෙ. ඒ සඳහා ක්‍රියා කළ සියලු දෙනාට මාගේ ගෞරවය පිරිනමනවා.
විහාර දේවාලගම් පනතේ 41/42 වගන්ති සංශෝධනය කර තිබෙනවා. එය ඉක්මනින් පාර්ලිමේන්තුවෙන් සම්මත කරල එය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්. මේ ශාසනයේ සමහර වේලාවට චරිතය, ධර්මය විකෘති කරනවා. ත්‍රෛනිකායික මහා සංඝරත්නය සමගි සම්පන්නව එකමුතුව මේ සඳහා ක්‍රියා කළ යුතුයි.
දැනුමෙන් අලංකෘත වූ භික්ෂු පරපුරක් ජාත්‍යන්තරයට ද දහම් පණිවුඩය රැගෙන යෑම සඳහා ඇති කිරීමයි අපේ අරමුණ. අපගේ මෙම කටුත්ත සඳහා සහයෝගය ලබාදුන් ජනාධිපතිවරයාට, බුද්ධ ශාසන ඇමැතිවරයා, ජනාධිපති ලේකම්වරයා ඇතුළු පිරිසට ආශිර්වාදය පිරිනමනවා. සම්බුද්ධ ශාසනය තව තවතවත් ශෝභමාන වේවා.

අමරපුර ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත බම්බලපිටිය වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමි
නිකායවාදී ප්‍රශ්න පවතිනවා. ජනාධිපතිතුමනි අපේ භික්ෂු අධ්‍යාපනය ද ප්රසංවිධානය කරන්න ඕනෙ. හොඳ පැවිද්දන් බිහිකරන්නට මේ අධ්‍යාපනයෙන් ලැබෙන උදව්ව මදි. අපි මේ ගැටලු විසඳා ගත යුතුයි. ජනාධිපතිතුමා නව ගමනක් ආරම්භ කර තිබෙනවා. මොන උත්සව තිබ්බත්, නායක පදවි තිබ්බත් අපට ඉදිරියට යාම අමාරුයි. අපේ රටේ ධර්මචක්රය අපි හරියට යොදාගන්නෙ නැහැ.
ධර්මතාන්ත්‍රික රාජ්‍යයක් නිර්මාණය කිරීමට මෙම රජය ගෙන එන නව ව්‍යවස්ථාවේදී අවධානය යොමු කළ යුතුයි. ධර්මයට මුල් තැන දී අප ක්‍රියා කළ යුතුයි. සංඝ සාමග්‍රිය ඉතා වැදගත්. ශික්ෂණයෙන් විනයෙන් තොරව ශාසනයේ ඉදිරි ගමනක් නැහැ.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත, දර්ශණපති බලපිටියේ සිරි සීවලී නාහිමි-
අමරපුර නිකාය ආරම්භ වූයේ එදා සමාජයේ තිබූ දැඩි අවශ්‍යතාවක් මත. මේක ශ්‍රී ලාංකීය භික්ෂු ශාසනයේ හැරවුම් ලක්ෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්. රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නායක හාමුදුරුවො කියනවා එදා අමරපුර නිකාය බිහි නොවුණා නම් ලංකාවෙන් හරි අඩකට වඩා අන්‍යාගමිකකරණය වන බව. කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමිපාණන් වහන්සේ ලෝ ප්‍රකට පඬිවරයකු වූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යවරයන් වහන්සේ නමක්.
ත්‍රෛනිකායික මහා සංඝරත්නයද හිටපු ජනාධිපතිවරු සහ අගමැතිවරුද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රජයේ මැති ඇමැතිවරුද විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහුද විහාරස්ථ දායක සභා සාමාජිකයෝ සහ සැදැහැවත්හු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



ඡායාරූප- නිශ්ශංක විජේරත්න