- ටෝකියෝ ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබයි
- ලෙසඳු හා සදෙව්ගෙන් 20න් පහළ ජාතික වාර්තා 2ක්
හෙල්ල විසිකිරීම පිරිමි ශ්‍රී ලංකා වාර්තාව යළි තමන් සතුකර ගැනීමට සුමේධ රණසිංහ ඊයේ සමත්වූ අතර, මේ සුපිරි දක්ෂතාව හේතුවෙන් මේ වසරේ සැප්තැම්බර් 13 සිට 21 දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට ඍජු සුදුසුකම් සම්පූර්ණ කර ගත්තේය. සුමේධගේ මේ විසිකිරීම මේ වසරේ මෙතෙක් ක්රීඩකයකු දැක්වූ ලොව හොඳම දුර ප්රමාණයවීම ද විශේෂත්වයකි.
සදෙව්
ලෙසඳු
දියගම ක්රීඩාංගණයේ පැවති ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ ඊයේ දෙවැනි දිනයේදී සුමේධ රණසිංහ මීටර් 85.78ක දක්ෂතාවක් දැක්වීමට සමත්වූ අතර, පසුගිය වසරේදී රුමේෂ් තරංග මීටර් 85.45කින් පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාව මේ සමඟ මැකී ගියේය.
මේ අතර 20න් පහළ පිරිමි මීටර් 200 ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාව තත්පර 21.08කින් බිහි කිරීමට සදෙව් රාජකරුණා සමත් වූ අතර, 2018දී අකුරම්බොඩ වීරකැප්පෙට්ටිපොළ ජාතික පාසලේ අරුණ දර්ශන තත්පර 21.38කින් තබා තිබූ පැරණි වාර්තාව මැකී ගියේය.
20න් පහළ පිරිමි උස පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාව මීටර් 2.22කින් බිහි කිරීමට ලෙසඳු අර්ථවිදු සමත්වූ අතර, 2009දී මීගමුව මාරිස්ටෙලා විදුහලේ උදාර සිල්වා පිහිටවූ මීටර් 2.15 වාර්තාව එමඟින් මැකී ගියේය.
ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබූ සුමේධ වසර 2016දී රියෝ ඔලිම්පික් උලෙළට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවූ අතර, මෙයට පෙර මීටර් 83.04කින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබිණි. 34 හැවිරිදි සුමේධ 2016 වසරේ ගුවහාතිහි පැවති දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී හෙල්ල විසිකිරීම මීටර් 80.25ක දක්ෂතාවකින් රිදී පදක්කම හා 2019 කත්මණ්ඩු තරගාවලියේදී මීටර් 74.97ක දුරකින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය. 2019 වසරේ චීනයේ වූහෑන්හිදී පැවති ලෝක ආරක්ෂක හමුදා ක්‍රීඩා තරගාවලියේදී මීටර් 75.35කින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.