බටලන්ද වාර්තාවට අදාළව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමඟ සාකච්ඡා කර ආණ්ඩුවක් ලෙස කඩිනම් මැදිහත්වීමක් සිදු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ පසුගියදා පාවෙන වෙළෙඳසල් සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
දේශබන්දු තෙන්නකෝන් මහතාට හැමදාම හැංගිලා ඉන්න බැහැ. එතුමාට නීතිය ඉදිරියට එන්න වෙනවා. පොලිස්පති ද, දේශපාලනඥයාද කියලා බලන්නේ නැතිව වත්මන් රජය නීතිය ක්‍රියාත්මක කරනවා. අපරාධයක් කොයි යම් මොහොතක හෝ මතු වෙනවා. පාස්කු දා ප්‍රහාරය, මහ බැංකු වංචාව වගේම බටලන්ද සිද්ධිත් එහෙමයි. මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී උදර්පන නීතිය මත සැඟවී සිටින අර්ජුන් මහේන්ද්‍රන්ව මඟුල් ගෙදරක යනවා කියලා පිටත් කළේ රනිල් වික්‍රමසිංහ. ඒ වෙලාවේ ඔහුව නීත්‍යනුකූලව අත්අඩංගුවට ගන්න පුළුවන් බව අපි කියද්දියි පිටත් කළේ. ඒවායේ පිටුපස අපරාධමය හැඟීමක් තියෙනවා.
ඒ කාලේ දේශපාලන රශ්මියෙන් සැඟවී සිටියට, ඉදිරියේ දී තරාතිරම නොතකා නීතිය ක්‍රියාත්මක කරනවා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය, පාස්කු ප්‍රහාරය කියන මේ අපරාධ තුනට රනිල් වික්‍රමසිංහ වගකියන්න ඕනේ නම්, ඒ අනුව කටයුතු කරනවා. ඒ වගේම පාවෙන වෙළඳසල් සංකීර්ණ කඩ හිමියන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු හතළිස් ගණනක් ඕල්කට් මාවතේ වෙළඳාම් කරපු අය පාවෙන වෙළෙඳ සංකීර්ණයට ගෙනාවේ බලහත්කාරයෙන්. කඩයක් දෙකක් ඇරලා තිබුණට අනික් කඩ සම්පූර්ණයෙන් වහලා දාලා තියෙන බවයි මේ නිරීක්ෂණ චාරිකාවේදී අපි දැක්කේ. නාගරික සංවර්ධන අධිකාරිය හරහා ජපන් ප්‍රොජෙක්ට් එකක් යෝජනා වෙලා තියෙනවා. මේකට දැන් ජනතා මුදල් යට කරලා ඉවරයි. ඒ අතරේ ලොකු නාස්තියකුත් වෙලා පාඩු ලබන තැනක් විදිහට තියෙන්නේ යැයිද ඒ මහතා කීවේය.