හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අල්ජසීරා රූපවාහිනිය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි. Head to Head නම් වූ විශේෂාංගයේ ආරාධිතයා වශයෙනුයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව සිටියේය.
මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ බ්‍රිතාන්‍ය – ඇමරිකානු මාධ්‍යවේදියෙකු වූ මෙහ්දි රාසා හසන් විසිනි. අවුරුදු 45ක් වයසැති මෙහ්දි රාසා හසන් කලක් අල්ජසීරා සමඟ කටයුතු කළ ඔහු ඉන් ඉවත්ව ගොස් යලිත් ඒ සමඟ එක්වුණේ 2024 ජුනි මාසයේ දී ය. ඒ Head to Head වැඩසටහන මෙහෙයවන්නා ලෙසයි.
සම්මුඛ සාකච්ඡා දෙකක් සමඟ අල්ජසීරා වෙත එක්වූ හසන් ඉන් එකක් ඊශ්‍රායල ඉතිහාසඥ බෙනී මොරිස් සමඟත් අනෙක ඩෙන්ග් ෂියාඕපින්ගේ හිටපු පරිවර්තක වික්ටර් ගාඕ සමඟත් පවත්වනු ලැබීය. ඒ 2024 ජූලි මාසයේ දී ලන්ඩනයේ කළ පටිගත් කිරීමකිනි.
මෙහ්ඩි රාසා හසන් ප්‍රගතිශීලී විකාශකයෙකු සහ ලේඛකයෙකු ලෙස පිළිගැනීමට ලක්ව ඇති අයෙක් වන අතර මාධ්‍ය සමාගමක් වන Zeteo හි නිර්මාතෘ වේ. 2020 ඔක්තෝබර් සිට Peacock හි සහ 2021 පෙබරවාරි සිට 2023 නොවැම්බර් මාසයේ දී වැඩසටහන අවලංගු කරන තෙක් ඔහු MSNBC හි The Mehdi Hasan Show ඉදිරිපත් කළේය. 2024 ජනවාරි 7 වන දින අවසන් විකාශනයේ දී ඔහු MSNBC හැර යන බව නිවේදනය කළ අතර 2024 පෙබරවාරි මාසයේ දී තීරු රචකයෙකු ලෙස ද The Guardian හා සම්බන්ධ වුණි.
ඔක්ස්ෆර්ඩ්, ක්‍රයිස්ට් චර්ච් හි උපාධිධාරියෙකු වන හසන් සිය රූපවාහිනී ජීවිතය ආරම්භ කළේ ITV හි වැඩසටහන් පර්යේෂකයෙකු ලෙසයි. පසුව ඔහු එහි නිෂ්පාදකයෙකුද ලෙස සේවය කළේය. BBC, Sky, Channel 4 ආදී ආයතන ගණනාවක සේවය කළ මෙහ්ඩි රාසා හසන් Win Every Argument හි කතුවරයා වන අතර හිටපු කම්කරු පක්ෂ නායක එඩ් මිලිබෑන්ඩ්ගේ චරිතාපදානයක සම-කර්තෘවරයා ද වේ.
අල්ජසීරා විකාශය කළ වැඩසටහනේ දී මෙහ්ඩි රාසා හසන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ “පාර්ලිමේන්තුව විසින් ඔබ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත් කළා. ඔබ ආර්ථිකය ස්ථාවරත්වයකට ගෙන ආවා. ඔබ රටේ 70%ක උද්ධමනය 1.3%ක් දක්වා පහළට ගෙන ආවා වසරක් තුළදී. නමුත් ඔබ පසුගිය සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයේ පරාජයට පත්වුණා. ඒ තරම් හොඳ වාර්තාවක් තැබූ ඔබ ශ්‍රී ලාංකික ජනතාව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම ගැන ඔබට මොනවද හිතෙන්නේ?” යනුවෙනි.
ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ “මම පරාජය වුණේ මොකද කියලා පැහැදිලි කරන්න මට මෙතනට ආවේ නැහැ. නමුත් මම සතුටු වෙනවා මට පැවරුණු කාර්යය ඉටුකිරීමට හැකිවීම ගැන” යනුවෙනි.
මෙම සම්මුඛ සාකච්ඡාවේ දී හසන්ගේ ප්‍රශ්න වෙත පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා කෝප ගැන්වී සිටි බවක් පෙනෙන්නට තිබූ අතර ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, යුරෝපා සංගමය, මෙරට කතෝලික සභාව ආදී ආයතන කිහිපයක් ගැන සිය අකමැත්ත ප්‍රකාශ කර තිබුණි.
බටලන්ද කොමිසම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගෙන් හසන් ප්‍රශ්න කළ විට ඔහු දුන් පිළිතුර පිළිබඳව විවිධ අදහස් දක්වෙමින් තිබේ.
මේ අතර තමන් විසින් අල්ජසීරා නාලිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ඊයේ (06) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ “අල්ජසීරා නාලිකාවේ සාකච්ඡාව අපේ වගේ නෙමෙයි. අපේ සජීවීව අරගෙන සියල්ලම දානවා. හොඳයි නරකයි දෙකම. අල්ජසීරා පැය 2ක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ. සමහර හොඳ ඒවා තිබුණා. දාලා නැහැ. ඔක්කොම දැම්මා නම් තත්ත්වය මීට වඩා වෙනස්” යනුවෙනි.
සම්පූර්ණ සාකච්ඡාව : https://www.aljazeera.com/program/head-to-head/2025/3/6/who-is-to-blame-for-sri-lankas-crises