ශ්‍රී ලංකා – ඉන්දීය ඓතිහාසික මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
ඒ අනුව එළඹෙන අප්‍රේල් මාසයේ මුල් භාගයේ ඒ මහතා මෙරටට පැමිණීමට නියමිතව තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා – ඉන්දීය ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව වාර්තා වෙයි.
පසුගිය 2024 සැප්තැම්බර් මාසයේ 21 වැනිදා පැවති ජනාධිපතිවරණය ජය ගත් අනුර කුමාර දිසානායක මහතා සිය පළමු නිල විදෙස් සංචාරය ලෙස එම වසරේ දෙසැම්බර් මාසයේදී ඉන්දියාව බලා පිටත්ව ගියේය.
එම සංචාරයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැතිවරයා අතර විශේෂ හමුවක් පැවති අතර එහිදී සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයාට කළ ආරාධනය අනුව මෙම සංචාරය සිදුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කෙසේ වුවද ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ආර්ථික සබඳතා ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමුවනු ඇති අතර ඊට අමතරව දෙරටට වැදගත් වන අංශ රැසක සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමුවනු ඇත.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචාරයක නිරත වන බවට මීට පෙර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය දැනුම් දී තිබුණු අතර ඒ අනුව ඒ මහතා මීට පෙර 2015, 2017 සහ 2019 වසරවලදී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.