ලංකා ගමනාගමන මණ්ඩලය කියන්නෙ ගොඩගන්න බැරි ආයතනයක් නොවෙයි – නව සභාපති වැඩ භාර ගනිමින් කියයි

“ලංකා ගමනාගමන මණ්ඩලය කියන්නෙ සුවිශාල මහජන සේවයක් සපයන ආයතනයක්. මේ වනවිට මෙම ආයතනයේ නොයෙකුත් අඩුපාඩු පවතිනවා. ක්ෂණයකින් ‌නොහැකි වුවත්, කැපවීමෙන් කටයුතු කරලා, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නගා සිටුවන්නට කටයුතු කරනවා. දිවයින පුරා ස්ථාපිත කර ඇති සෑම ඩිපෝවක් ගැනම පුද්ගලිකවම අවධානය යොමුකරලා, ලංගම මගී ජනතාවට මනා සේවයක් සපයන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කරනවා. මේක ගොඩදාන්න බැරි ආයතනයක් නොවෙයි ” යැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා පවසයි.

අද (06) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී විෂයභාර අමාත්‍ය, බිමල් රත්නායක මහතා ඉදිරියේ, නිල වශයෙන් සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් සභාපතිවරයා මෙම අදහස් පළ කළේය.

මාතර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිය මූලික සහ ද්විතීය අධ්‍යාපනය හදාරා ඇති පුරසිංහ මහතා, කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි. පුද්ගලික ආයතන කිහිපයක ජ්‍යේෂ්ඨ තනතුරු කිහිපයක් හොබවා ඇති පුරසිංහ මහතා, වර්තමානයේ ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරනු ලබයි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාල පරිශ්‍රයෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ සභාපතිවරයා, තමා ලක්දිව ආයතනය ඉතාමත් කෙටි කාලයක් තුළ සාර්ථකත්වය කරා ගෙනගිය බවත්, ලංගමය ඊට වඩා පුළුල් ආයතනයක් බැවින් එතරම් ඉක්මණින් නොවූවත්, හැකි ඉක්මනින් දියුණුව කරා ගෙනයන බවටත් පොරොන්දු විය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා, ශ්‍රී ලංගමය කිසිසේත් විකිණීමට අදහස් නොකරන බවත්, තම අමාත්‍යාංශය සතු විශාලම ආයතනය මෙය බවත්, 27,000 ක් පමණ වූ සේවක පිරිසකින් සැදුම්ලත් මෙම ආයතනය ගොඩගැනීම සඳහා, සේවක සහාය අත්‍යාවශ්‍ය බවත් පැවසීය. එසේම පුරසිංහ මහතා ඉතාමත් කාර්‍යශූර පුද්ගයෙකු බව දන්නා නිසා, ලංගමය ගොඩගැනීමේ භාරධූර කර්තව්‍ය එතුමාට පැවරූ බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ ලක්දිව ඉංජිනේරු සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරි පිරිසක් සහභාගී වූහ.