රාජ්ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරි නිලංග හේරත් මහතා ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 39 දශම 3 දොඩංගොඩ ප්රදේශයේ නවතා තිබූ තවත් සුඛෝභෝගී මෝටර් රථයක ගැටීමෙන් එම මෝටර් රථයේ රියදුරු මිය ගොස් සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ කළුතර දකුණ මුස්ලිම් පල්ලිය පාර අංක 45/45 ලිපිනයේ පදිංචිව සිටි ඒ බි රිස්වාන් (34) නැමැති පුද්ගලයෙකි.
තුවාල ලැබූවන් අතර සහකාර පොලිස් අධිකාරීවරයා, ඔහු ගමන් ගත් මෝටර් රථය පැදවූ රාජ්ය බුද්ධි සේවාවට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයා සහ මියගිය පුද්ගලයා පැදවූ මෝටර් රථයේ ගමන් ගත් මගියෙකුද වන බව පොලිසිය සඳහන් කරයි.
රාජ්ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාරව රාජකාරී කරනු ලබන සහකාර පොලිස් අධිකාරී එච් එම් සි නිලංග හේරත් මහතා කොළඹ පැවැත්වෙන රාජකාරී කටයුත්තක් සඳහා සහභාගී වීමට පොලිස් කොස්තාපල් රියදුරු 18431 කේ ඩි ආර් කේ ජයතිලක නිලධාරියා විසින් පදවන ලද මාසික කුලී පදනම මත ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇති සුඛෝ භෝගි මෝටර්රථයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙමින් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ජීප් රථය වැලිපැන්න පිවිසුම පසුකර කොළඹ දෙසට ධාවනය වීමේදී කිලෝමීටර 39.දශම 3 දොඩංගොඩ ප්රදේශයේ පාලම මත කාර්මික දෝෂයකට ලක් වූ මෝටර් රථයක් මාර්ගයේ වම් පස නතර කර තිබී ඇතැයි පොලිසිය කියයි.
එහි රියදුරු මෝටර් රථයෙන් බැස එහි පිටුපස සිටගෙන සිට ඇති අතර මෝටර් රථයේ වම් පස අසුනේ තවත් මගියෙකු එම අවස්ථාවේදී අසුන්ගෙන සිට ඇත.
පොලිස් නිලධාරීන් දෙදෙනා ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථයේ පිටුපස සිට ගෙන සිටි රියදුරුද යට කරගෙන ගොස් මෝටර් රථයේ ගැටීමත් සමගම සිව්දෙනාම තුවාල සිදුවී ඇති අතර ඔවුන් නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව රියදුරු පැය කීපයකට පසු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් මෝටර් රථ දෙකටම බරපතළ අලාභ සිදුවී ඇත.
අපරීක්ෂාකාරී සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි සේවාවේ පොලිස් කොස්තාපල් රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.